Sunday, June 14, 2026
Follow Us
දුම්කොළ විරෝධී දිනය නිමිත්තෙන් විශේෂ ජාතික සැමරුමක්

දුම්කොළ භාවිතයෙන් සිදුවන සෞඛ්ය හා ආර්ථික හානි පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සමරනු ලබන ලෝක දුම්කොළ විරෝධී දිනය නිමිත්තෙන් ශ්රී ලංකාවේ ප්රධාන ජාතික සැමරුම් උත්සවය හෙට (15) කොළඹදී පැවැත්වීමට නියමිතයි.



සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා තරුණ හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ සහ සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි යන මහත්වරුන්ද එක්වීමට නියමිත බව සඳහන්.

‘දුම්කොළ කර්මාන්තයේ කූඨ උපක්රම හෙළිදරව් කරමු – දුම්කොළ සහ නිකොටින් නිෂ්පාදනවලට එරෙහි වෙමු’ යන තේමාව යටතේ මෙවර වැඩසටහන සංවිධානය කර තිබෙනවා.

මෙවර වැඩසටහනේදී විශේෂ අවධානය යොමු කෙරෙන්නේ දුම්කොළ හා නිකොටින් නිෂ්පාදනවලට තරුණ පරපුර ඇබ්බැහි වීම වැළැක්වීම සහ දුම්කොළ භාවිතයෙන් තොර අනාගත පරපුරක් බිහිකිරීම සඳහා අවශ්ය ජාතික ක්රියාමාර්ග ශක්තිමත් කිරීම පිළිබඳවය.

එමෙන්ම දුම්වැටි හා දුම්කොළ ආශ්රිත නිෂ්පාදන භාවිතයෙන් සිදුවන සෞඛ්ය හා ආර්ථික බලපෑම්, ඇබ්බැහිවීම් කළමනාකරණය කිරීමේ ක්රමවේද, මානසික සහ කායික සුවතාවයට ඇතිවන අහිතකර බලපෑම් මෙන්ම බෝ නොවන රෝග ව්යාප්තිය කෙරෙහි එහි බලපෑම පිළිබඳව ද විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

වර්තමානයේ දුම්කොළ කර්මාන්තය විසින් ඊ-සිගරට් ඇතුළු නවීන නිකොටින් නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දෙමින් තරුණ පරපුර ඉලක්ක කර ගන්නා ආකාරය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත. විශේෂයෙන්ම දරුවන් සහ නව යොවුන් වියේ පසුවන්නන් නිකොටින්වලට ඇබ්බැහි වීම වැළැක්වීම මහජන සෞඛ්යයේ ප්රමුඛ කාර්යයක් බව සෞඛ්ය අංශ පෙන්වා දෙයි.

මෙම අවස්ථාවේදී සෞඛ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා සහ ලෝක සෞඛ්ය සංවිධානයේ ශ්රී ලංකා නේවාසික නියෝජිත වෛද්ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් මහතා විසින් විශේෂ දේශන පැවැත්වීමට නියමිතය.

ඊට අමතරව ශ්රී ලංකා රජරට විශ්වවිද්යාලයේ මහාචාර්යවරුන් සහ සෞඛ්ය ක්ෂේත්රයේ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් දුම්කොළ හා නිකොටින් භාවිතය වැළැක්වීම, ඇබ්බැහිවීම් පාලනය කිරීම, නීතිමය ප්රතිපාදන සහ මානව හිමිකම් සම්බන්ධ කරුණු පිළිබඳ විද්වත් දේශන මාලාවක්ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

දුම්කොළ හා මධ්යසාර පිළිබඳ ජාතික අධිකාරිය පෙන්වා දෙන්නේ, දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බිහිකිරීම සඳහා ශක්තිමත් නීති ක්රියාත්මක කිරීම, මහජන දැනුවත්භාවය වර්ධනය කිරීම සහ රාජ්ය ආයතන, සෞඛ්ය වෘත්තිකයන්, අධ්යාපනඥයින්, දෙමාපියන් සහ තරුණ ප්රජාව අතර තිරසාර සහයෝගීතාවක් ගොඩනැගීම අත්යවශ්ය බවය.