ජාතික තරුණ දිනය වෙනුවෙන් දිස්ත්රික්ක 25ම ආවරණය කරමින් විෂ මත්ද්රව්ය විරෝධී පාගමන් 25ක් සංවිධානය කර ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසීය.
සභාපතිවරයා මේ බව පැවසුවේ අද (18දා) ජාතික තරුණ සේවා සභාවේ දී පැවති මාධ්ය හමුවක දීය.
මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා සදහන් කළේ විෂ මත්ද්රව්ය භාවිතය කෙරෙහි මෙරට තාරුණ්ය තුළ පවතින විරෝධයත්, මත්ද්රව්ය භාවිත කරන්නන් හට ඉන් මිදෙන ලෙස කරනු ලබන පණිවිඩය සන්නිවේදනය කිරීම හා මත්ද්රව්ය වෙළෙදාම්කරුවන්ට මෙරට තාරුණ්යයේ විරෝධය දැක්වීම යන අරමුණු සහිතව වර්තමාන තාරුණ්යය ඒකරාශී කරගනිමින් මෙම පාගමන් සංවිධානය වන බවයි.
"රටම එකට" විෂ මත් විරෝධි ජාතික මෙහෙයුමට සමගාමීව මෙවර තරුණ දිනය වෙනුවෙන් මෙම වැඩසටහන් ක්රියාත්මක කෙරේ.
සමාජයේ විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයන් අතර මත්ද්රව්ය භාවිතය ඉහළ යාම සෞඛ්ය, ආර්ථික හා සමාජ ගැටළු රැසකට හේතු වී ඇති බවත්, විශේෂයෙන් තරුණ පරපුර එහි බලපෑමට දැඩි ලෙස ලක්වීම රටේ අනාගතයට හානිදායක තත්ත්වයක් උදා කිරීමේ අවදානම පවතින බවත් සභාපතිවරයා ප්රකාශ කළේය.
ඒ අනුව 2026 ජාතික තරුණ දින සැමරුම “Say No” යන්න තේමා කර ගනිමින් සැමරීමට සැලසුම් කර ඇති බවත්, මෙහි ජාතික වැඩසටහන කොළඹ හා නාගරික තරුණයා දිස්ත්රික්ක ඒකාබද්ධ කර මහරගම නගරයේදී පැවැත්වීමට නියමිත බවත් ප්රකාශ කළේය. ඊට සමගාමීව අනෙකුත් සෑම දිස්ත්රික්කයකම එම වැඩසටහන ක්රියාත්මක කිරීමට නියමිත බව ද සභාපතිවරයා සදහන් කළේය.
මෙම සැමරුම් වැඩසටහන සදහා දිස්ත්රික් මට්ටමින් තරුණ තරුණියන් සහභාගී වීමට නියමිත අතර, මහරගම පැවැත්වෙන ප්රධාන වැඩසටහන සදහා තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා සහභාගී වීමට නියමිතය. රත්නපුර දිස්ත්රික් රැළිය සදහා තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතා සහභාගී වීමට නියමිතය.
මත් උවදුර පිටුදැකිම සඳහා ජනතාව සක්රීයව දායක කර ගැනීම වෙනුවෙන් දිවයිනේ සෑම දිස්ත්රික්කයකම ජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගරයක් මුලික කරගනිමින් විෂ මත් විරෝධි පාගමනක් සහ රැළිය ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන තුළ චිත්ර, පෝස්ටර්, වීදි නාට්ය, බැනර්, සටන් පාඨ ආදී නිර්මාණශීලි අංගයන් එකතු කර ගනිමින් දිවයින පුරා යූත් ක්ලබ් හි දිස්ත්රික් මණ්ඩල හා ප්රාදේශීය මණ්ඩල නායකයින්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්රියාත්මක වේ.
මෙම මාධ්ය හමුව සඳහා Youth Club ජාතික සම්මේලනයේ සංවිධායක රවිඳු ඉන්දීවර මහතා ද සහභාගී විය.