Sunday, May 17, 2026
Follow Us
වවුනියාවේ අලි–මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට විශේෂ සාකච්ඡාවක්

වවුනියාව බෝගස්වැව, නන්දිමිත්‍රගම, සැළලිහිණිගම ඇතුළු ප්‍රදේශවල ජනතාව මුහුණපා සිටින අලි–මිනිස් ගැටුම නිරාකරණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක්  පසුගියදා (16)  සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව සැළලිහිණිගම විහාරස්ථානයේදී පැවැත්විණ.


මෙම ගම්මානවල ආරක්ෂාව සඳහා ඉදිකර තිබෙන අලිවැට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අලි–මිනිස් ගැටුම උග්‍රවී ඇති බව මෙහිදී අනාවරණය විය.


කිලෝමීටර් 35ක් දක්වා විහිදෙන මෙම අලිවැට කඩිනමින් නඩත්තු කරන ලෙස වනජීවි නිලධාරීන් වෙත උපදෙස් ලබාදුන් අමාත්‍යවරයා, අලිවැට අවට කැළෑ සහිත ස්ථාන හෙළිපෙහෙළි කිරීම සඳහා මහවැලි අධිකාරිය වෙතද උපදෙස් ලබාදීමට පියවර ගත්තේය.


බෝගස්වැව ඇතුළු ගම්මානවල පදිංචිකරුවන් නොමැති ඉඩම් මහවැලියට පවරාගෙන වෙනත් පාර්ශව වෙත භාරදී එම ඉඩම් සංවර්ධනය කිරීම හෝ පිරිසිදු කිරීම සිදුකරන ලෙසද අමාත්‍යවරයා සඳහන් කළේය.


ගම්වැදී සිටින අලීන් පන්නා දැමීම සඳහා ගම්වාසීන් සමඟ එක්ව ක්‍රියාකරන ලෙස වනජීවි නිලධාරීන් වෙත උපදෙස් ලබාදුන් අතර, වන අලින්ගෙන් තර්ජන පවතින නිවාස සහ ස්ථාන වෙත අලි වෙඩි ලබාදීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් නිලධාරීන්ට දැනුම් දෙනු ලැබීය.


මෙම අවස්ථාවට වවුනියාව වනජීවි අඩවි ආරක්ෂක නිලධාරී හේමජිත් මනුප්‍රිය මහතා, බෝගස්වැව කොට්ඨාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩිලන්ජන සඳුන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.