ඓතිහාසික යාපහුව පුරාවිද්යා භූමිය සංරක්ෂණය කර වැඩිදියුණු කිරීම සහ එහි සංචාරක පහසුකම් ප්රවර්ධනය කිරීම අරමුණු කරගත්,"යාපහුව සංස්කෘතික සංචරණ උරුම කළමනාකරණ ව්යාපෘතිය"අද (16) මධ්යම සංස්කෘතික අරමුදලේ මෙහෙයවීමෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණි.
යාපහුව රජමහා විහාරාධිපති, පූජ්ය නුගලියද්දේ සමිතනන්ද ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ මඟපෙන්වීම යටතේ ක්රියාත්මක වන මෙම ව්යාපෘතිය සඳහා මූල්ය ප්රතිපාදන සහ පූර්ණ දායකත්වය සපයනු ලබන්නේ මධ්යම සංස්කෘතික අරමුදල මගිනි.
මෙම සුවිශේෂී සමාරම්භක අවස්ථාව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්රධානත්වයෙන් සහ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා සහ වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතාගේ විශේෂ සහභාගිත්වයෙන් පැවැත්විණි.
යාපහුව රාජධානියේ ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම මතු පරපුර උදෙසා සුරක්ෂිත කරමින්, දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි පරිදි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම ව්යාපෘතියේ මූලික ඉලක්කය වේ.
මේ සඳහා පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් වික්රමසිංහ මහතා, මධ්යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා, මහාචාර්ය සමිත මානවඩු මහතා, මධ්යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ (සංවර්ධන) වැඩබලන ආචාර්ය සුමේධා මාතොට මහත්මිය, අතිරේක අධ්යක්ෂ ජනරාල් ප්රියදර්ශන උඩුකුඹුර මහතා ඇතුළු රාජ්ය නිලධාරීහු පිරිසක් ද, ප්රදේශවාසීහු ද සහභාගී වූහ.