වෘත්තීයභාවය සහ පුහුණුව සහිත ලෝකය දෙස පුළුල් කෝණයකින් බැලිය හැකි ශිෂ්ය පිරිසක් උසස් අධ්යාපනය හරහා ගොඩනැගිය යුතු බවත්, ඒ සඳහා උසස් අධ්යාපනයට ඇති ප්රවේශය පුළුල් කරමින් නව අධ්යාපන අවස්ථා සිසුන්ට හඳුන්වාදීමට කටයුතු කරන බවත් අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තිය අධ්යාපන අමාත්ය අග්රාමාත්ය හරිනි අමරසූරිය ප්රකාශ කළා ය.
අග්රාමාත්යවරිය මේ බව පැවසූයේ 2026.05.12 දින ශ්රී ලංකා පදනම් ආයතනයේදී පැවැති, "මගෙන් මහපොළට, මහපොළෙන් දරුවන්ට" - මහපොළ ශිෂ්යත්වලාභීන්ගේ ආදි විද්යාර්ථි වෙබ් ද්වාරය නිල වශයෙන් විවෘත කිරීමේ සමාරම්භක උත්සවය සහ 2023/2024 මහපොළ ශිෂ්යත්ව ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මහපොළ ප්රතිලාභ ලැබූ ආදී විද්යාර්ථීන් සහ දැනට මහපොළ ප්රතිලාභ ලබන විද්යාර්ථීන් එක් ජාලයකට ගොනු කිරීම අරමුණු කරගනිමින් සෑදූ මහපොළ ශිෂ්යත්වලාභීන්ගේ ආදි විද්යාර්ථි වෙබ් ද්වාරය නිල වශයෙන් විවෘත කිරීම මෙහිදී අග්රාමාත්යවරියගේ ප්රධානත්වයෙන් සිදුවිය. එමෙන් ම දිට්වා ආපදාවෙන් බලපෑමට ලක්වූ විශ්වවිද්යාල සිසුන් පිරිසකට ද අග්රාමාත්යවරිය අතින් ශිෂ්යත්ව පිරිනැමීම මෙහි දී සිදු විය.
මෙම වෙබ් ද්වාරය මගින් මහපොළ ශිෂ්යත්වලාභී ආදී විද්යාර්ථීන් සහ විශ්වවිද්යාල උපාධිධාරීන් අතර වෘත්තීය සබඳතා ශක්තිමත් කිරීම තුළින් වෘත්තීය මාර්ගෝපදේශනය, රැකියා අවස්ථා, අවශ්යතා ඇති සිසුන්ට ශිෂ්යත්ව පිරිනැමීම සහ මහපොළ ශිෂ්යත්ව වැඩසටහනේ වපසරිය වඩාත් පුළුල් කිරීම වැනි ක්රියාකාරකම් මූලිකව සිදු කිරීමට නියමිත ය.
මෙහි දී අදහස් දැක්වූ අග්රාමාත්යවරිය මෙසේ ද පවසා සිටියාය.
මෙම මහපොළ ශිෂ්යත්වය හරහා අධ්යාපනය ලබා අද වන විට ලොව පුරා විවිධ වෘත්තීය ක්ෂේත්රයන්හි නියැලෙන දහස් සංඛ්යාත ආදි විද්යාර්ථීන් පිරිසක් සිටිනවා. එම අරමුදලින් උපකාරයක් ලැබූ සියලුම දෙනා එකතු කරමින් ඔවුන්ගේ අත්දැකීම් හරහා තවත් පරපුරක් ගොඩනගමින් ඉදිරියට යන ගමන අද දින මහපොළ ශිෂ්යත්වලාභීන්ගේ ආදි විද්යාර්ථි වෙබ් ද්වාරය විවෘත කිරීම ඔස්සේ සිදුවෙනවා.
අප රජය බලයට පත්වීමෙන් පසු මහපොළ ශිෂ්යත්ව භාරකාර අරමුදලේ කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින් ශිෂ්යයන්ට එම සහනය නිසි කාලයට ලබාදීමට කටයුතු සිදුකරලා තිබෙනවා. එමෙන්ම මහපොළ දීමනාව රුපියල් 10,000ක් දක්වා වැඩිකිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. එය ශිෂ්ය ශිෂ්යාවන් ලැබූ විශාල ජයග්රහණයක්.
අද දින විවෘත වූ මහපොළ ශිෂ්යත්වලාභීන්ගේ ආදි විද්යාර්ථි වෙබ් ද්වාරය හරහා මහපොළ අරමුදල මූල්යමය ප්රදානයකට එහා ගිය, එයින් උපකාර ලබන සිසුන්ගේ අනෙකුත් අවශ්යතාවයන් සඳහාද ශක්තියක් වන ආකාරයට ගොඩනැගීම අපගේ අරමුණක් වී තිබෙන්නවා. ඒ නිසා තමයි මේක තීරණාත්මක පියවරක් වෙන්නෙ.
ඔබට මේ ලැබුණු ශිෂ්යත්වය ඔබට විතරක් ලැබුණු එකක් ලෙස සලකන්න එපා. මේක හරහා අප බලාපොරොත්තු වෙන්නේ උසස් අධ්යාපනයට ඔබට ඇති ප්රවේශය තහවුරු කිරීම හරහා ඔබෙන් මේ රටට සේවයක් වීමයි. රටක්, ලෝකයක් මීට වඩා හොඳ තැනක් බවට පත් කරන්න පුළුවන් බලපෑම ඔබ සිදුකළ යුතුයි. ඔබගේ සාර්ථකත්වය මගින් ඔබගේ පවුලේ, සමාජයේ, රටේ සාර්ථකත්වය තීරණය කරනවා.
මෙම උත්සවය සඳහා වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන නියෝජ්ය අමාත්ය ආර්.එම් ජයවර්ධන ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහ විශ්වවිද්යාල ආචාර්ය මහචාර්යවරුන් ඇතුළු නිලධාරින් පිරිසක් ද සහභාගි වී සිටියහ.