සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන රටක් අවශ්‍ය බවත්, ජාතික සමගිය වෙනුවෙන් තබන ලද ශක්තිමත් පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (03) වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාවේදී පැවති “කම්බන් උළෙල” සඳහා එක් වෙමිනි.
දෙමළ ජනතාවගේ ප්‍රධාන සාහිත්‍ය සහ සංස්කෘතික උත්සවයක් වන කම්බන් උත්සවයට එක් වූ ජනාධිපතිවරයා සාම්ප්‍රදායිකව හින්දු චාරිත්‍රානුකූලව පිළිගනු ලැබිණි.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මනුෂ්‍යත්වය පෙරටුකරගත් නව සමාජයක් නිර්මාණය කිරීමේදී සාහිත්‍යයට සහ සංස්කෘතියට මහගු වගකීමක් පැවරී තිබෙන බවයි.
මේ රටේ සියලුම ජනතාවට එකමුතුවෙන් සහ සමානාත්මතාවයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනඟා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉටු කරන මෙහෙවර අගයමින් කම්බන් සම්මානයෙන් ජනාධිපතිවරයාව පිදුම් ලැබීමද මෙහිදී සිදු කෙරිණි.
ශ්‍රේෂ්ඨ දෙමළ කවියෙකු වූ කම්බන්ගේ නාමයෙන් සමස්ත ලංකා කම්බන් කලගම් සංවිධානය 1980දී යාපනයේ පිහිටුවන ලදී. තරුණ පරම්පරාව සංස්කෘතික සහ දේශප්‍රේමය සමඟින් ධර්මිෂ්ඨ මාවතක් ඔස්සේ මෙහෙයවීම මෙහි අරමුණ වන අතර කලගම් සංවිධානය විසින් වාර්ෂිකව කම්බන් උළෙල සංවිධානය කරනු ලබයි.
ශ්‍රී ලාංකික සමාජයේ උන්නතිය සඳහා කටයුතු කළ කීර්තිමත් පුද්ගලයින්ට වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව එහිදී ගෞරව පුද කරන අතර පෙර වසරවලදී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කීර්තිමත් පුද්ගලයෝ රැසක් සම්මානයෙන් පිදුම් ලැබූහ.
කුරුක්කුල්තුමන්ලා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, හිටපු මැලේසියානු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අරවනන්, ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ හිටපු ප්‍රාන්ත සභාපති කේ. අන්නමලෙයි, ජාත්‍යන්තරව කීර්තිමත් අක්මා බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් රේලා, අභියාචනාධිකරණ විනිසුරු පී. සසිමහේන්ද්‍රන්, කොළඹ කම්බන් කලගම් අනුශාසක හිටපු අභියාචනාධිකරණ විනිසුරු විශ්වනාදන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
විශේෂයෙන්ම මෙම කම්බන් උත්සවයට මට ආරාධනා කිරීම පිළිබඳවත්, ඔබේ ආදරය සහ ගෞරවය මා වෙත ලබා දීම පිළිබඳවත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මෙම කම්බන් උත්සවය මෙම වසරේදී දින හතරක් මුළුල්ලේ පැවැත්වෙනවා.
මා හිතනවා අපේ සමාජයේ ඇති වී තිබෙන ගැඹුරු ඛේදවාචකයෙන් යළි ගොඩඒම සඳහා පොරබැදීමේදී සාහිත්‍ය සහ සංස්කෘතිකමය ක්ෂේත්‍රයට විශාල වගකීමක් පැවරී තිබෙනවා.
12 වන සියවසේදී පමණ කම්බන් කිවිදානන් රාමායනය නැවත ප්‍රතිනිර්මාණය කර ඉදිරිපත් කිරීමට සමත් වුණා. වාල්මිකි විසින් රචනා කරන ලද රාමායනය යළි ප්‍රතිනිර්මාණය කිරීමක් ඒ තුළ ගැබ්වී තිබෙන බව අප අවබෝධ කරගෙන තිබෙනවා. සෑම වසරකම කම්බන් සංගමය විසින් ඔහුගේ කවි පිළිබඳව, සාහිත්‍ය මෙහෙවර පිළිබඳව ඒ තුළ ගැබ්වී තිබෙන සමාජ සාධාරණත්වය පිළිබඳව, යහපත් දිවි පැවැත්ම පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. නිරන්තරයෙන් ඒ පිළිබඳ අවබෝධය ලබා ගන්නවා.
වර්තමානයේ අපි සමාජයක් ලෙස මුහුණ දී තිබෙන ගැඹුරු අර්බුදයක් තිබෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය, සමාජ රටාව තුළ මුළුමණින් අපේ දරු පරපුර යන්ත්‍ර බවට පත්කරන ආකෘතියක් ගොඩනැගී තිබෙනවා. අපේ දරුවන්ගේ අධ්‍යාපනය රදා පවතින්නේ යහපත් අධ්‍යාපනයක් ලබා දීමෙන් කියලා අපි සිතනවා. ඒ වෙනුවෙන් දෙමාපියන් තමන්ගේ දරුවන්ට ඉගැන්වීම සඳහා විශාල වෙහෙසක් දරනවා. හැබැයි ඒ වෙහෙස දරුවන්ට අත්පත් කරදී ඇති ඉරණම කුමක්ද? හිමිදිරි පාන්දර අවදි වන දරුවා, නිදි මතින්ම පාසල් යන දරුවෙක්, පාසල් හැරී නැවත අමතර පන්ති යන දරුවෙක්, මධ්‍යම රාත්‍රී වන තුරු පොත අතේ තියාගෙන ඉන්න දරුවෙක් අද බිහි වී තිබෙනවා. අපි දරුවන් හදන්නේ යන්ත්‍රයක ඇණයක්, දැති රෝදයක් ලෙසද? අපි කැමති වුණත්, අකමැති වුණත් අපේ දරුවන් විශාල ප්‍රමාණයක් අද යන්ත්‍රයක කුඩා කොටසක් බවට පත්වී තිබෙනවා. යන්ත්‍රයක කොටස් බවට පත්වූ දරුවන්ගෙන් රටට හිමිවන අනාගතය කුමක්ද? හදවතේ තෙතමනයක් නැති දරුවන්, ආදරය, ළෙන්ගතු කම නැති දරුවන්, අනෙකා පිළිබඳ සහකම්පනය නොමැති දරුවන් ඇතිවන සමාජයක් අපි ඉදිරිපිට නිර්මාණය වී තිබෙනවා. සියලු යහපත් මිනිස් සබඳතා අයිස් වතුරේ ගිල්වා මරා දමා තිබෙනවා.
අද සමාජයේ වටිනාකම් බවට පත්වී තිබෙන්නේ කුමක්ද? ලොකු වාහනයක්, විශාල නිවසක්, වැඩි ධනය සමාජයේ වටිනාකම් බවට පත්වී තිබෙනවා. ඒ නිසා අපේ සමාජයට යළි වටිනාකම් සහ හර පද්ධතියක් අවශ්‍යයි. තෙතමනයක් තිබෙන දරුවන්. අනෙකා කෙරෙහි සහකම්පනය, ආදරය, ළෙන්ගතු කම තිබෙන දරුවන් අපේ සමාජයේ යළි ඇති කළ යුතුයි. එම කාර්යයයේදී මේ කම්බන් උත්සවය ඉතාමත් වැදගත් මෙහෙවරක් ඉටු කරන බව අපි විශ්වාස කරනවා. පසුගිය දින කිහිපයේම ඔබ සහ ඔබේ දරුවන් එකතුවී සාහිත්‍යයේ, කවියේ තිබෙන ගැඹුර, කම්බන් රාමායනයන් අපිට කියාදෙන අත්දැකීම් අපේ ජීවන රටාව එකිනෙකාට ඒත්තු ගන්වමින් හැදෑරීමට පටන් ගන්නවා.
අපි වැඩිපුර පර්යේෂණ කරන්නේ සහ අධ්‍යයනය සඳහා යොමු වන්නේ තාක්ෂණය දෙසටයි. ජංගම දුරකථනය අතේ තිබෙන දරුවන් එහි එක යෙදවුමක් බවට පත්ව තිබෙනවා. එසේනම් දරුවන්ට පැතිරුණු, විශාල ලෝකයක් අපි නිර්මාණය කළයුතුයි. එම විශාල ලෝකය නම් සාහිත්‍ය, කලාව, තෙතමනය, ආදරය පෙරදැරිකරගත් ලෝකයක් අපේ දරුවන්ට නිර්මාණය කළ යුතුයි.
අපේ සමාජය බිදුණු සමාජයක් බවට පත්වී තිබුණා. එකිනෙකා කෙරෙහි සැකයෙන් වෛරයෙන්, ක්‍රෝධයෙන් බලන සමාජයක් අපි ඉදිරිපිට තිබුණා. උතුරේ දෙමළ ජනතාව කෙරෙහි දකුණේ සිංහල ජනතාව සැකයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් බලන සමාජයක් තිබුණා.
උතුරේ දෙමළ සමාජය සිංහල සමාජය දෙස එලෙසම බලන සමාජයක් තිබුණා. මෙම වෛරයෙන් පිරි සමාජය අපිට ඉතිරි කරන්නේ කුමක්ද? උතුරටද, දකුණටද කිසිදු තැනකට ජයග්‍රහණයක් ඉතිරි කරන්නේ නැහැ. අපිට ඉතිරි කරන්නේ විනාශයක්, ඛේදවාචකයක්.
යුද්ධයකදී පළමුව මිය යන්නේ මනුෂ්‍යත්වයයි. සාහිත්‍යයේදී පළමුව නැගිටින්නේ මනුෂ්‍යත්වයයි. ඒ නිසා සාහිත්‍යය අවශ්‍යයි. අපිට ඉතාමත් ඛේදනීය සහ තවමත් සොයාගත නොහැකි අතීතයක් තිබෙනවා. මම තවමත් කල්පනා කරනවා මැතිවරණයක් වෙනුවෙන් පුස්තකාලයක් ගිනි තියන්නේ කොහොමද කියලා. මැතිවරණයකදී, මැතිවරණ කාර්යාලයක් ගිනි තියන එක අපිට තේරුම්ගන්න පුළුවන්. හැබැයි මැතිවරණයකදී පුස්තකාලයක් ගිනි තියන්නේ ඇයි?
අපේ උතුරේ ජනතාව සහ පොත පත අතර ඓන්ද්‍රීය සබඳතාවක් තිබෙනවා. එසේ නම් කියවීම ජීවන විලාසිතාවක්, කියවීම සංස්කෘතියක් බවට පත්කරගත් ජනතාවක්, පුස්තකාලයට පාවහන් ගලවා යන ජනතාවක්, රිදවීමට තිබෙන හොඳම තැන පුස්තකාලය ගිනි තැබීමයි. එවැනි ඉතාමත් බිහිසුණු ඛේදවාචකයන්ට අපේ සමාජය මුහුණ දී තිබෙනවා.
ඒ නිසා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපේ සියුල ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන රටක් අපිට අවශ්‍යයි. මා දන්නවා අපි තවමත් මුළුමනින්ම ගැටලු විසඳාගෙන නොමැති බව. ගැටලු විසඳා ගැනීම සඳහා තව දුරටක් යා යුතු බව. එහෙත් ජාතික සමගිය වෙනුවෙන් අපි ශක්තිමත් පියවරක් තබා තිබෙනවා. මේ තබන ලද පියවර කිසිසේත්ම ආපසු නොගන්නා බවට මම ඔබට සහතික වෙනවා. අපේ රටේ යළි කිසිදු ජාතිවාදයකට හෝ අන්තවාදයකට ඉඩ දෙන්නේ නැහැ.
අපේ පරම්පරාව යුද්ධ කරගත්තා, නමුත් අපේ දරුවන්ට අපි එම තත්ත්වය උදා නොකළ යුතුයි. සියලුදෙනා සහෝදරත්වයෙන් ජීවත්වන රටක් අපිට අවශ්‍යයි. මේ බෙදීම්, ඈත් කිරීම අපිව දශක ගණනාවක් ඈතට ගෙන යනවා. බෙදීමේ ඉතිහාසය දිගයි. ඒ නිසා එකතුවීම වෙනුවෙන් පියවර කිහිපයක් ඉදිරියට යා යුතුයි. පළමුකොටම අනෙකාගේ සංස්කෘතිය පිළිගැනීම සහ ගෞරව කිරීම අවශ්‍යයි.
සිංහල ජනතාවට තමන්ගේම අනන්‍යතාවක් සහ සංස්කෘතියක් තිබෙනවා. දෙමළ ජනතාවට තමන්ට අනන්‍ය සංස්කෘතියක් තිබෙනවා. මුස්ලිම් ජනතාවටත් තමන්ටම අනන්‍ය වූ සංස්කෘතියක් තිබෙනවා. සෑම සංස්කෘතියක්ම ගෞරවනීය පිළිගැනීමට භාජනය කරන සමාජයක් අපිට අවශ්‍යයි.
මට මේ මොහොතේ මට සම්බන්දන් මහත්මයා මතක් වෙනවා. එතුමා එක අවස්ථාවක මට කිව්වා “අනුර මම කැමතියි ශ්‍රී ලාංකිකයෙක් කියලා ලෝකයට හඩගා කියන්න. ඒත් මම කැමති නැහැ දෙවැනි පුරවැසියෙක් ලෙස ලංකාවේ ජීවත් වෙන්න”. කවර හෝ ජන කණ්ඩායමකට දැනෙනවා නම් තමන් මේ රටේ දෙවැනි පුරවැසියන් කියලා එය මනින්නේ මම නෙවෙයි, ඒ මනින්නේ ඔබයි. මම ඔබගේ විනිශ්යකරුවා නොවෙයි. ඔබ ඒත්තු ගන්වාගත යුතුයි ඔබ මේ රටේ සියලු අයිතිවාසිකම් සහිත පුරවැසියෙක් බව.
ඒ නිසා අපේ රටේ ඉපදෙන, ආර්ථිකයට දායකවන, මහපොළවට පස් වන සියලුදෙනාට හැගීමක් ඇතිවිය යුතුයි මේක අපේ මාතෘ භූමිය කියලා. එසේ නැති වුවහොත් අපිට ජාතික සමගිය නිර්මාණය කළ නොහැකියි. ඒ නිසා මේ කාර්යය ඉටු කිරීමේදී සාහිත්‍යයට, කලාවට, ක්‍රීඩාවට, අධ්‍යාපනයට වගේම දේශපාලනයට විශාල වැඩකොටසක් තිබෙනවා.
ඉතිහාසය පුරා පැවතුණේ බෙදුණු දේශපාලනයක්. අයිතිවාසිකම් උත්කර්ෂයට නංවා ඒ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ දේශපාලනයක්. අනෙකාට එරෙහිව මතවාද අවුස්සන දේශපාලනයක්.
අපිට අවශ්‍ය බෙදුණු දේශපාලනයක් නොවෙයි. උතුර, නැගෙනහිර, බටහිර බේදයකින් තොරව එකතු වුණු දේශපාලනයක්. මේ ජාතිවාදි විෂබීජය තිබෙන්නේ දේශපාලනය තුළයි. ජාතිවාදය පරාජයට පත් කිරීමට නීති ප්‍රමාණවත් නොමැතිනම් නව නීති සකස් කර හෝ ජාතිවාදය පරාජය කරනවා.
අද අපි රට තුළ ඉතා වැදගත් පරිවර්තනයක් සිදු කරමින් තිබෙනවා. එම පරිවර්තනය මේ රටේ ජනතාවට විශාල ජයග්‍රහණය ගෙනත් දෙයි. අපේ සිහිනයක් තිබෙනවා, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව එකට ජීවත්වන සමාජයක්. ඒ වෙනුවෙන් කලාවේ සහ සාහිත්‍යයේ විශාල ප්‍රබෝධයක් අවශ්‍යයි.
කම්බන් රාමායනයේ ඇති යහපත් දිවි පැවැත්ම අපේ ජීවිතවලට අපි ඇතුල්කරගත යුතුයි. එහි රසාස්වාදය අපේ ජීවිතවලට ඇතුළත් කර ගනිමු. හුදු යාන්ත්‍රික සත්වයෙක්ගේ සිට මිනිසෙක් බවට අපි පරිවර්තනය විය යුතුයි. අපි හුස්ම ගත්තත්, කතා කළත් මනුෂ්‍යත්වය ගිලිහී තිබෙනවා. ඒ නිසා යළි මනුෂ්‍යත්වය පෙරටු කරගත් නව සමාජයක් නිර්මාණය කිරීමේදී සාහිත්‍ය උත්සවයන්ට ඉතා වැදගත් අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා මෙම අවස්ථාව සංවිධානය කිරීම පිළිබඳ කම්බන් කලාගම් සංවිධානයේ සියලුදෙනාට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. අපිට අවශ්‍ය ශක්තිමත් දෙමළ ලාංකේය සාහිත්‍යයක්. ඒ වගේම ශක්තිමත් කවීන්, චිත්‍රපටකරුවන් අවශ්‍යයි. ලංකාවේ දෙමළ කලාවේ සහ සංස්කෘතියේ විශාල ප්‍රබෝධයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් කවර හෝ සංවිධානයක්, සංගමයක් තිබෙනවා නම් අපේ රජය ලෙස ඒ වෙනුවෙන් උපරිම සහාය ලබා දෙනවා.