මාර්ග සංවර්ධන අධිකාරිය, කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවූ බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් සිදුකර ඇති සාවද්‍ය ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් එවැනි කිසිදු ගෙවීමක් ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන ගිණුමෙන් හෝ වෙනත් අනු ගිණුමකින් කිසිම විටෙක අදාල ව්‍යාපෘති සඳහා සිදුකර නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කලේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධයෙන් සිදුකල සාවද්‍ය ප්‍රකාශය පිළිබද නිවැරදි තත්ත්වය පැහැදිලි කිරීම සඳහා කැඳවා තිබූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට අද (27) එක්වෙමිනි.
මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාව අද (27) බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි මහාමාර්ග අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී පැවති අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
" මාර්ග සංවර්ධන අධිකාරියේ සහ රජයේ කීර්ති නාමයට හානි කිරීම සඳහා චේතනාන්විතව සිදුකර ඇති මෙම ද්වේශසහගත සහ අසත්‍ය ප්‍රකාශය තරයේ හෙලා දකිනවා. සමාජය තුල අස්ථාවරත්වයක් නිර්මාණය කිරීම සදහා දූෂණයක් සිදුවූවායැයි හැගෙන පරිදි මන්ත්‍රීවරයා සිදුකල ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක්. මේ තුළින් ආයතනයේ කීර්තිනාමයට විශාල හානියක් සිදුව තිබෙනවා. එමෙන්ම ගිණුම්කරණ ක්‍රියාවලිය සහ රටේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ අවිශ්වාසයක් ඇති කිරීමට තැත්කිරීම කණගාටුදායක තත්ත්වයක්.
ප්‍රධාන ගිණුමෙන් හෝ අනු ගිණුමකින්වත් කිසිම මුදලක් දෙවරක් ගෙවීම් කර නැහැ. ස්ථිර වශයෙන්ම කියනවා කිසිම ගිණුමකට දෙවරක් මුදල් ගියේ නැහැ කියලා. නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියන පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කිසිම ලිපියක් බැංකුවට යවා නැහැ. බැංකුව විසින් අධිකාරියට කිසිම ලිපියක් යොමුකරලත් නැහැ. අධිකාරිය සහ කොන්ත්‍රාත්කරුවන් අතර කිසිම ගැටලුවක් නැහැ. කොන්ත්‍රාත්කරුවන් සහ බැංකුව අතර ගැටලුවක් පවතීනම් ඒකෙ වරද මාර්ග සංවර්ධන අධිකාරියේ නොවෙයි.
ඉතා පැහැදිලිව කියනවා මාර්ග සංවර්ධන අධිකාරිය අදාල කොන්ත්‍රාත්කරුවන්ට.දෙවරක් මුදල් ගෙවා නැති බව. බැංකුවේ මුදල් තැන්පත් කර ඇත්තේ එක්වරක් පමණයි. ඒ බව ප්‍රධාන ගණකාධිකාරිවරයා තහවුරු කලා. මෙම ගෙවීම් සිදුකර තිබෙන්නේ මඩකලපුව ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙකුට. මෙහි සත්‍යාසත්‍යතාවය මාර්ග සංවර්ධන අධිකාරියේ අදාල පළාත්භාර අධ්‍යක්ෂවරයා තහවුරු කර තිබෙනවා.’