නව QR ක්‍රමවේදය ඔස්සේ සහනාධාර තේ පොහොර ලබා දීම පසුගිය ඔක්තෝබර් මස පළමුවනදා සිට මේ දක්වා මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ විශිෂ්ට ප්‍රගතියක් අත්කරගෙන ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නව මාවතකට යොමු කරමින්, 2030 වසර වන විට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400 දක්වාත්, අපනයන ආදායම ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීම සඳහා මෙම QR ක්‍රමවේදය හඳුන්වා දීම සිදු කෙරිණි.
පැවති ක්‍රමවේදය යටතේ තේ වගා ඉඩම් ප්‍රමාණය මත පමණක් පොහොර ප්‍රමාණය තීරණය කිරීම සහ පොහොර සංස්ථාව මගින් පමණක් පොහොර ලබාදීම වැනි බාධා පැවතිණි. එම බාධා සඳහා විසඳුම් ලෙස නව ක්‍රමවේදයේ දි මාස තුනක සාමාන්‍ය දළු අස්වැන්න පදනම් කරගෙන සහනාධාරය නියම කිරීම ක්‍රියාත්මක කරන ලදි. තවද, පොහොර සංස්ථාවට පමණක් සීමා වූ බෙදාහැරීමේ ක්‍රමය වෙනුවට, අනුමත පොහොර සමාගම් හරහා ද පොහොර ලබාදීමට පහසුකම් සලසා, වඩාත් විධිමත් හා කඩිනම් සේවාවක් කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් වෙත ලබාදීමට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව, මෙම පොහොර ලබාදීමේ ක්‍රමවේදය හරහා මාර්තු (31) වන විට ප්‍රාදේශිය කාර්යාල මගින් ලියාපදිංචි වී QR කේතය ලැබි ඇති ගොවින් ප්‍රමාණය 226,511 ක් වන අතර, අදාළ දිනට ඒ අතරින් කුඩා හා මධ්‍ය පරිමාණ තේ ගොවින් 187,759 දෙනෙකු සඳහා සහනාධාර තේ පොහොර මෙ.ටෝ 21,117.7 ක් ලබා දී ඇත. රජය විසින් කි.ග්‍රෑම් 50 පොහොර මිටියක් සඳහා රු. 4000.00 ක සහ කි.ග්‍රෑම් 25 පොහොර මිටියක් සඳහා රු. 2000.00 ක මූල්‍ය සහනාධාරයක් මෙම QR ක්‍රමවේදය මගින් ගොවීන් වෙත ලබා දෙන අතර, ඒ අනුව මේ වන විට කි.ග්‍රෑම් 50 මිටි 334,256 ක් සහ කි.ග්‍රෑම් 25 මිටි 176,199 ක් ගොවීන් අතට පත් කර තිබේ.
2024/2025 සම්පූර්ණ වර්ෂයේදීම සහනාධාර පොහොර ලබාගෙන තිබුණේ ගොවීන් 84,472 ක් පමණක් වුවද, නව ක්‍රමවේදය යටතේ මාස 6ක් තුළ ගොවීන් 187,759 දෙනෙකු සඳහා පොහොර ලබා දී ඇති අතර මෙය පෙර වසරට සාපේක්ෂව 122.3% ක දැවැන්ත වර්ධනයකි. 2024/2025 වර්ෂයේදී නිකුත් කර තිබූ මුළු පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 13,015.50 ක් වුවද, නව QR ක්‍රමවේදය යටතේ මාර්තු මස අවසන් වන විට මෙට්‍රික් ටොන් 21,117.7 ක ප්‍රමාණයක් බෙදාහැර අවසන්ය. ඒ අනුව පොහොර නිකුත් කිරීමේ ප්‍රගතිය 62.2% කින් ඉහළ ගොස් ඇත.
පැවති ක්‍රමවේදය සමග සැසඳීමේදී මෙම QR ක්‍රමවේදය ඔස්සේ පොහොර ලබා ගැනිමේ ක්‍රමවේදය වඩා පහසු සහ ක්‍රමවත් බව කුඩා හා මධ්‍ය පරිමාණ තේ වගාකරුවන්ගේ අදහසයි.
එමෙන්ම, වර්තමානයේ පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් කුඩා තේ වතු හිමියන් සඳහා විශේෂ පොහොර සහනාධාරයක් ලබා දීමට ද රජය තීරණය කර ඇත. ඒ අනුව පවතින සහනාධාරයට අමතරව, මේ වසර තුළ එක් වතාවක් පමණක් ලබා දීම සඳහා කි.ග්‍රෑම් 50ක පොහොර මිටියකට රුපියල් 5,000ක අමතර සහනාධාරයක් භාණ්ඩාගාරය මඟින් වෙන් කර ඇත. නව රුපියල් 5,000 සහනාධාරයද QR ක්‍රමවේදය යටතේම වසර අවසානයට පෙර කුඩා තේ වතු හිමියන් වෙත ලබා දීමට සැලසුම් කර ඇත.