Wednesday, April 08, 2026
Follow Us
ආපදාවෙන් හානියට පත් නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන්න  - අගමැතිනියගෙන් උපදෙස්

“Rebuilding Sri Lanka” ජනාධිපති කාර්යසාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.

මෙහිදී “Rebuilding Sri Lanka“වැඩසටහනෙහි වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම වැඩසටහන යටතේ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ආපදාවට පත් වූවන් වෙනුවෙන් වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසට උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරිය, හානි වූ නිවාස අලුත්වැඩියා කිරීමේ කටයුතු සහ නව නිවාස ඉදිකිරීමේ කටයුතු විධිමත්ව සහ කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ ස්ථාපිත කර තිබෙන ප්‍රධාන කමිටුවල සහ අනුකමිටුවල ප්‍රගතිය සමාලෝචනය කිරීම ද මෙහිදී සිදු විය.

මීට අමතරව, නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ අනෙකුත් ආයතන සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද මෙහිදී තීරණය කෙරිණි.

දිට්වා සුළිකුණාටුව සම්බන්ධව සකස් කළ Post Disaster Needs Assessment (PDNA) වාර්තාව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගන්වනු ලැබීමද මෙහිදී සිදු විය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, කම්කරු අමාත්‍ය සහ  මුදල්  සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ “Rebuilding Sri Lanka” ජනාධිපති කාර්යසාධක බලකායේ ලේකම් රසල් අපෝන්සු, ජනාධිපති උපදේශක පරාක්‍රම දිසානායක, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි යන මහත්වරු සහ කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.