සමූපකාර රෝහල් පද්ධතිය මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමග මනා සම්බන්ධතාවයකින් යුක්තව පවත්වා ගනිමින් මහජන සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වා ඇත.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ රජයේ සහ පෞද්ගලික අංශය අතර මධ්‍යස්ථ සේවාදායකයෙකු ලෙස සමූපාකාර රෝහල් පද්ධතිය සතු සම්පත් වඩාත් කාර්යක්ෂමව මහජනතාව වෙත සමීප කරවීමේ හැකියාව පිළිබඳව කරුණු සොයා බැලීමයි.
මෙම විශේෂ සාකච්ඡාවේ දි සමූපකාර රෝහල් පද්ධතියේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, සමූපකාර රෝහල් පද්ධතිය ඩිජිටල්කරණ ක්‍රියාවලියට ලක් කිරීමට කටයුතු කිරීම පිළිබඳවත් කරුණු සාකච්ඡා කළ අතර, සමූපකාර රෝහල් සේවාව සතු තාක්ෂණික පහසුකම්, පුහුණු ශ්‍රමිකයින්, ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා යන කරුණු පිළිබඳව ද මෙහිදී දීර්ඝව සාකච්ඡා කර තිබේ.
සමූපකාර රෝහල් පද්ධතිය මේ වන විට ඩිජිටල්කරණයට ලක් කිරීමට සමූපකාර දෙපාර්තමේන්තුව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත්, පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පරිගණක සේවා සපයන සමාගමක් සමාජ සත්කාරයක් ලෙස නොමිලේ එම කටයුතු සිදු කරදීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් මෙහිදී පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ සමූපකාර රෝහල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය, රටේ සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතිය නවීකරණය කිරීමේ පුළුල් සැලැස්මට අනුගතව සිදු කෙරෙන අතර මෙහි ප්‍රධාන අරමුණ වන්නේ රෝගී සත්කාරක සේවාවන්හි කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ තොරතුරු කළමනාකරණය විධිමත් කිරීම බව මෙහිදී වෙළෙඳ, වාණිජ, ආරක්ෂණ, සුරක්ෂිත හා සමුපකාර සංවර්ධන අමාත්‍ය ඡ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා සදහන් කර ඇත .
එමෙන්ම, සමූපකාර රෝහල් සතු තාක්ෂණික පහසුකම් සහ පුහුණු ශ්‍රමිකයින්ගේ දායකත්වය සෞඛ්‍ය පද්ධතියට එක්කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ .
විශේෂයෙන්ම, සමූපකාර රෝහල් කාර්ය මණ්ඩල සඳහා රජයේ රෝහල් තුළ පුහුණුව ලබාගැනීමේ අවස්ථාව ලබාදීම හරහා සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීමට ඇති හැකියාව මෙහිදී පෙන්වා දුන් අතර, දැනට ක්‍රියාකාරී මට්ටමේ පවතින රෝහල් 21 මගින් ජනතාවට ඉටුකරන සේවයද අගය කර ඇත .