බලශක්තිය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව දිරිගැන්වීමේ අරමුණින් නිර්මාණය වූ "සුරකිමු ලංකා" ජාතික වැඩසටහන ආරම්භ කරන අතර එය අද (29) නිල වශයෙන් එළිදැක්වේ.
බලශක්ති ප්රභවයන් ප්රවේශම්කාරී ලෙස ආරක්ෂා කරගන්නා ප්රජාවක් බිහි කිරීම මෙහි මූලික අරමුණවේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට බලශක්ති සහ ඉන්ධන සැපයුමට එල්ල විය හැකි බාධා මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි "එල්නීනෝ" කාලගුණික තත්ත්වය පිළිබඳ අනාවැකි සැලකිල්ලට ගනිමින් රජය මෙම වැඩසටහන ක්රියාත්මක කරයි.
රාජ්ය සම්පත් අතිශය අරපිරිමැස්මෙන් හා විනිවිදභාවයෙන් යුතුව පරිහරණය කිරීමේ දැඩි අවශ්යතාව රජය පෙන්වා දෙන අතර, ජාතික බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් මහජනතාව සෘජුව දායක කරවා ගැනීම මෙහි ප්රධාන අපේක්ෂාවයි.
ඒ අනුව මෙම වැඩසටහන අද සිට ඉදිරි මාස පහක කාලයක් පුරා ක්රියාත්මක වීමට නියමිතය.
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන දැක්ම පෙරදැරිව ක්රියාත්මක වන Clean Sri Lanka වැඩසටහන යටතේ "සුරකිමු ලංකා - එකතු වෙමු - එළිය දෙමු" යන තේමාවෙන් මෙම වැඩසටහන ක්රියාත්මක වේ.
මේ සඳහා රාජ්ය හා අර්ධ රාජ්ය ආයතන මෙන්ම පෞද්ගලික අංශය, සිවිල් සමාජය සහ සමස්ත මහජනතාවගේ සහභාගීත්වය අපේක්ෂා කෙරේ.
විදුලිය වැඩි වශයෙන් පාවිච්චි කරන පස්වරු 6.00 සිට රාත්රී 10.00 දක්වා වූ උපරිම පාරිභෝජන කාලසීමාව (Peak Hours) තුළ විදුලිය භාවිතය සීමා කිරීමට හෝ අධික විදුලිය වැයවන කාර්යයන් හැකිතාක් දුරට දිවා කාලයේදී සිදුකිරීමට ජනතාව පෙළඹවීම "සුරකිමු ලංකා" වැඩසටහන යටතේ සිදු කෙරෙනු ඇත.
මෙම වැඩසටහන මගින් විදුලි පරිභෝජනය සඳහා කිසිදු තහංචියක් පැනවීමට අදහස් නොකෙර්. එහෙත් විදුලි උත්පාදනයෙන් වැඩි ප්රමාණයක් ජලාශ්රිතව සිදුවන බැවින් ඉදිරියේදී ජල පරිභෝජනය ද ඉතා අරපිරිමැස්මෙන් සිදුකළ යුතු බවද මෙමගින් අවධාරණය කරනු ලැබේ.
ඒ සඳහා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳව ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කරමින් ඔවුන්ව ස්වේච්ඡාවෙන්ම දිරිගැන්වීම පමණක් මෙම වැඩසටහන මගින් අපේක්ෂා කරයි.