දකුණු පළාතේ ප්රධානතම තෘතීයික සෞඛ්ය සේවා සපයන මධ්යස්ථානය වන කරාපිටිය ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ නව ඩිජිටල්කරන වැඩපිළිවෙළ අද (27) සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය.
සායනික රෝගීන් සඳහා ඖෂධ නිකුත් කිරීමේ දී රෝගීන් පෝලිම්වල සිට අපහසුතාවයට පත්වීම වළක්වාලමින් ස්මාට් ටෝකන් ක්රමයකට අනුගතව මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක වන අතර, එම ක්රමවේදය මෙරට රෝහලක ප්රථම වතාවට ක්රියාත්මක කිරීම ද විශේෂත්වයකි.
බාහිර රෝගී අංශය කේන්ද්ර කර ගනිමින් ඉහත නව ඩිජිටල්කරණ වැඩපිළිවෙළ පසුගිය 25 වනදා නිල වශයෙන් ආරම්භ කර ඇත.
ඒ අනුව එම කටයුතු ක්රියාත්මක වන ආකාරයත් එම ක්රමවේදය තුළින් රෝගීන් සහ කාර්ය මණ්ඩල පත්ව ඇති පහසුව ද සෞඛ්ය නියෝජ්ය අමාත්යවරයා නිරීක්ෂණයට ලක් කරමින් එම වැඩපිළිවෙළ තවත් ක්රමවත්ව ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය උපදෙස් නිලධාරීන්ට ලබාදීමට ද මෙහිදී කටයුතු කරන ලදි.
මෙම වැඩපිළිවෙළ දැනට නියමු ව්යාපෘතියක් ලෙස ක්රියාත්මක වන බවත්, ඉදිරියේදී QR ක්රමයක් දක්වා මේ වැඩිදියුණු කිරීමට නියමිත බවත්, බාහිර ඖෂධ ලබා ගැනීම සඳහා ද මෙම ක්රමය ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය එස්.ඩී.යූ.එම් රංග මහතා ඇතුළු නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.
මෙමගින් ත්රිවිධ හමුදාව, පොලීසිය, පූජ්ය පක්ෂය, විශ්රාමික සහ වැඩිහිටි ප්රජාවන්ට ද විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙන අතර මෙම ක්රමය ක්රියාත්මක කිරිම පිළිබඳව රෝගීන්ගේ ඉතාමත්ම යහපත් ඉහළ ප්රතිචාර වන බව ද නිලධාරීන් නියෝජ්ය අමාත්යවරයා දැනුවත් කරන ලදි.
මෙම නව ඩිජිටල්කරණ ක්රමවේදය යටතේ සායනයේ දී රෝගීන් සඳහා ඖෂධ වට්ටෝරුව ලබාගෙන ඖෂධ ලබාදෙන ස්ථානයේ දී තොරතුරු ඉදිරිපත් කර එය ලියාපදිංචි කිරීමෙන් පසු ටෝකනයක් ලබාදෙනු ලබයි. ඒ අනුව අපහසුතාවයකින් තොරව අදාළ අංකයට හිමි ඖෂධ නිකුත් කිරීම සිදු කෙරේ.
මෙම අවස්ථාවට කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ වෛද්ය, වෛද්ය හෙද ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් ද එක්ව සිටියහ.