Monday, March 23, 2026
Follow Us
ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට පරිත්‍යාගක්

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සමස්ත කාර්ය මණ්ඩලයේ දිනක වැටුප, හදිසි ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා රජය ආරම්භ කරන ලද "Rebuilding Sri Lanka" අරමුදල වෙත පරිත්‍යාගයක් ලෙස ලබාදීම අද (23) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත රුපියල් 340,000 කින් යුත් ඉහත මූල්‍ය පරිත්‍යාගය නිල වශයෙන් භාරදීම, සමස්ත ලංකා හෙද සංගමයේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ රෝහල් ශාඛාවේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලදී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබන ආපදා කළමනාකරණ කටයුතු කාර්යක්ෂමව සහ ඵලදායීව සාක්ෂාත් කර ගැනීමටත්, සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සහ අවතැන් ජනතාවට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දැක්වීමක් ලෙස මෙම ප්‍රදානය සිදු කරනු ලැබූ බව ගාමිණී කුමාරසිංහ මහතා පැවසීය. ආපදා තත්ත්වයෙන් පසු ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල සඳහා ආදර්ශයක් ද සපයමින් සෞඛ්‍ය වෘත්තිකයින් ලෙස ලබාදුන් මෙම මූල්‍ය පරිත්‍යාගය මෙහිදී අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය.

අභියෝග හමුවේ අඛණ්ඩව සෞඛ්‍ය සේවා සැපයීම සහ එම සේවාවන් ශක්තිමත් කිරීමේ මුලපිරීම් සඳහා මෙවැනි පරිත්‍යාග සහාය වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම අවස්ථාවට සුවසේවා සංගමයේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ රෝහල් ශාඛාවේ ලේකම් නලින් සුරංග සහ හෙද නිලධාරි සනත් අබේකොන් යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.