ගල්ෆ් කලාපය ආසන්නයේ සහ ඒ ප්‍රදේශයේ ඇතිවී තිබෙන යුධමය වාතාවරණය මුල්කරගනිමින් ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විශේෂ අවධානයෙන් පසුවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.
දැනට බහුදින ධීවර යාත්‍රා 2000ත් 2500ත් අතර ප්‍රමාණයක්, ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාපය (EEZ) සහ ජාත්‍යන්තර මුහුද ඇතුළු ඉන්දියන් සාගරයේ දෛනිකව ධීවර රැකියාවේ නිරතව සිටිති. පවතින තත්ත්වය හේතුවෙන් මෙරට කිසිදු ධීවර යාත්‍රාවකට මෙතෙක් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ඒ මහතා තහවුරු කරයි. මෙම යුධමය ක්‍රියාකාරකම් නිශ්චිත ඉලක්ක පදනම් කරගෙන සිදුවන බැවින්, අපගේ ධීවර යාත්‍රාවලට ඉන් සෘජු තර්ජනයක් නොමැති බව දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයයි.
එසේ වුවද, ධීවර යාත්‍රා සහ කාර්ය මණ්ඩලයේ උපරිම ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පහත සඳහන් ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස ධීවර ප්‍රජාවගෙන් දැඩිව ඉල්ලා සිටියි:
* සෑමවිටම සාම්ප්‍රදායිකව මසුන් අල්ලන ප්‍රදේශවල පමණක් රැකියාවේ නිරත වීම.
* යුධමය කටයුතුවලට සම්බන්ධ බවට සැකකෙරෙන කිසිදු යාත්‍රාවක් හෝ වෙනත් කිසිදු ආගන්තුක නෞකාවක් හෝ යාත්‍රාවක් ආසන්නයට නොයාම.
* ධීවර රැකියාව සඳහා පිටත්ව යාමේදී සහ ආපසු පැමිණීමේදී සාමාන්‍යයෙන් භාවිතා කරන සුපුරුදු ගමන් මාර්ග ඔස්සේ පමණක් ගමන් කිරීම.
* ධීවර රැකියාව නිමවූ වහාම නැවත ගොඩබිමට පැමිණීම.
ඕනෑම හදිසි තත්ත්වයකදී සහාය ලබා ගැනීම සඳහා ධීවර දෙපාර්තමේන්තුවේ යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ ගොඩබිම පවතින ගුවන්විදුලි මධ්‍යස්ථාන පැය 24 පුරාම ක්‍රියාත්මකව පවතී. මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ ක්‍රියාත්මක කරනු ලබන සමුද්‍රීය සෝදිසි සහ ගලවා ගැනීමේ මධ්‍යස්ථානය (Colombo MRCC) ද පැය 24 පුරා ක්‍රියාත්මක වේ.
Colombo MRCC මධ්‍යස්ථානය සමඟ පහත සඳහන් සංඛ්‍යාත (කිලෝහර්ට්ස් - kHz) ඔස්සේ ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර මඟින් ධීවරයින්ට සම්බන්ධ විය හැක:
* 6215.00 kHz
* 8291.00 kHz
* 4225.00 kHz
මෙම උපදෙස් තරයේ පිළිපදිමින් වඩාත් සැලකිලිමත්ව සිය වෘත්තියෙහි නිරත වන ලෙස සියලුම බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන්ගෙන් සහ ධීවර කාර්මිකයින්ගෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.