අනාගත පරපුර වෙනුවෙන් අපේ රටේ සංස්කෘතිකමය සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යා යුතුයි - ජනාධිපති ලේකම්
ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සහ සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පොසොන් පූජෝත්සවය සහ පෙරහැර මංගල්‍යය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවැත්විණි.
සෑම වසරකම පැවැත්වෙන මෙම පිංකම් මාලාව සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවත්, අනාගත පරපුර වෙනුවෙන් අපේ රටේ සංස්කෘතිකමය සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපති ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සහ සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පොසොන් මංගල්‍යය සාර්ථක කර ගැනීමට රජය දක්වන කැපවීම අගය කරන බව විහාරාධිපති නායක හිමිපාණන් වහන්සේලා මෙහිදී ප්‍රකාශ කළහ.
සිතුල්පව්ව විහාරස්ථානයට පිවිසෙන මාර්ගය වසරින් වසර අලුත්වැඩියා කිරීමට සිදු වන බැවින් එයට ස්ථීර විසඳුමක් ලබා දීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරිණි.
ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන නායක හිමිපාණන් වහන්සේ, සිතුල්පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය ලේල්වල සමිත නායක හිමිපාණන් වහන්සේ, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිම්න්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම්ගේ, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් සිල්වා යන මහත්වරු සහ අදාළ රාජ්‍ය ආයතනවල ප්‍රධානීහුද, පෞද්ගලික ආයතනවල නිලධාරීන් සහ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.