Sunday, February 01, 2026
Follow Us
ස්මාර්ට් පන්ති කාමරයකට අවශ්‍ය උපාංග රැසක් ලබාගන්න සහය

නවීන ඩිජිටල් උපකරණ හැසිරවීම සහ ඒවා නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මානව සම්පත් සැලසුම්කරණයක් පාසල් පද්ධතිය තුළ නිර්මාණය කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

හුවාවේ සමාගම සහ යුනෙස්කෝ ග්‍රාමීය අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ සාමාජිකයින් හමුවෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

විදේශ ආධාර යටතේ ලැබෙන ඩිජිටල් උපකරණ විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ සමබර අයුරින් පාසල් සඳහා බෙදාදීමට අවශ්‍ය ව්‍යුහයක් සකස් කරන බවත්, නවීන ඩිජිටල් උපකරණ ක්‍රමවත්ව හැසිරවීමේ හැකියාව මේ වන විටත් ගුරු පුහුණු කිරීම් තුළින් ගුරුවරුන්ට ලබා දී ඇති බවත් අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය. එමෙන්ම එම උපකරණ පාසල් පද්ධතිය තුළ කාර්යක්ෂමව මෙන්ම ආරක්ෂිත ලෙස භාවිතා කිරීම සඳහා මානව සම්පත් සැලසුම්කරණයක් සිදු කළ යුතු බවත්, සිසුන්ගේ වයස සහ ශ්‍රේණිවලට අනුව ඩිජිටල් උපකරණ භාවිතයේ පරාසය නියාමනය කෙරෙන ළමා ආරක්ෂණ ක්‍රමවේදයක් මත දරුවන් ඩිජිටල් අධ්‍යාපනයට යොමු කරන බවත් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව කියා සිටියේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පසුගියදා(27) හුවාවේ සමාගම සහ යුනෙස්කෝ ග්‍රාමීය අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය (UNESCO-INRULED) සමඟ පැවැත්වූ සාකච්ඡාවක් අතරතුරදී, එම මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය ජෝ සුවෝ-යී (Zhao Shouyi) මහතා විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම සඳහා අවධානයට ලක් වී ඇති ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කළ අවස්ථාවේදීය.

හුවාවේ සහ යුනෙස්කෝ ආයතන එක්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඩිජිටල්කරණ සැලසුම් සමඟ සම්බන්ධ වෙමින්, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපනය ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා අවශ්‍ය අන්තර්ක්‍රියාකාරී තිර ඇතුළු ස්මාර්ට් පන්තිකාමර සඳහා අවශ්‍ය අනෙකුත් ඩිජිටල් උපාංග ලබාදීම සහ මෙම මධ්‍යස්ථානය ඔස්සේ ගුරුවරුන් සඳහා නවීන ඩිජිටල් ඉගැන්වීම් ක්‍රම පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහන් පැවැත්වීමට චීන පාර්ශ්වයේ ඇති සූදානම පිළිබඳව ද මහාචාර්ය ජෝ සුවෝ-යී මහතා කරුණු පැහැදිලි කළේය. එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා අග්‍රාමාත්‍යතුමිය දක්වන පැසසුම් සහගත නායකත්වය සහ කැපවීම ද මෙහිදී ඒ මහතාගේ අගය කිරීමට ලක් විය.

මෙහිදී චීන රජය විසින් මෙම වැඩසටහන හා සම්බන්ධව ක්‍රියාත්මක කළ ජාතික අධ්‍යාපන ඩිජිටල්කරණ ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වන සහයෝගය අග්‍රාමාත්‍යතුමියගේ ඇගයීමට ලක් විය.

මෙම අවස්ථාව සඳහා ගරු අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, යුනෙස්කෝ ග්‍රාමීය අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය චාඕ යුචි මහතා, ලියු ටියැන්යි මිය, හුවාවේ ටෙක්නොලොජීස් සමාගමේ ප්‍රජා කටයුතු සන්නිවේදන අධ්‍යක්ෂ රාඕ යුවාන්ජුන් මහතා සහ උපායමාර්ගික අධ්‍යක්ෂ ඉන්දික ද සොයිසා මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් සවිත්‍රි පානබොක්ක මිය සහ සහකාර අධ්‍යක්ෂ ඉසුරි විතාරණ මිය, UNESCO ශ්‍රී ලංකා ජාතික කාර්යාලයේ ලේකම් ජෙනරාල් මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ මහතා ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන්ද පැමිණ සිටියහ.