Saturday, April 20, 2024
Follow Us
ජාත්‍යන්තරය ඉදිරියේ රට පාවා නොදෙන්නැයි ක්‍රිකට් ලේකම්ට ඇමැතියේ ලේකම් කියයි

මොහාන්ගේ පැමිණිලිවලට මැදිහත් වෙන්න ICCයට බැරි බව කියයි


ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන මැදිහත් වීමක් සිදු වී ඇති නම් ඒ පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC)දැනුම් දීමට ප්‍රථම කළ යුතුව තිබුණේ ඒ සම්බන්ධයෙන් මෙරට බලධාරීන් දැනුවත් කිරීම බවත් මෙවැනි දේ සිදු කර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනයේ හා ක්‍රීඩාවේ ගෞරවය කෙලෙසෙන අයුරින් ක්‍රියා නොකරන ලෙසත් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වාට දැනුම් දී ඇත.

‘‘ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දේශපාලන මැදිහත්වීම ගැන ICCයේ අවධානය‘‘ යන හිසින් යුතුව ක්‍රිකට් ලේකම්වරයා විසින් අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කර ඇති ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින් අමාත්‍යංශ ලේකම් වරයා මේ බව දැනුම් දී තිබේ.

ක්‍රිකට් ආයතනයේ ලේකම් වරයා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දේශපාලනීකරනය වී ඇතැයි ප්‍රධාන කරුණු 4ක් කෙරෙහි අවධානය යොමු කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට පැමිණිලි කර ඇති අතර එකී කරුණු 4ට පිළිතුරු දීමට අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී කටයුතු කර තිබේ.

1. ‘‘දේශපාලන මුහුණුවරකින් යුක්තව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානිවන අයුරින් පදනම් විරහිතව සිදුකරනු ලැබූ විවිධ චෝදනා සහ ප්‍රකාශයන්.‘‘ යන පළමු පැමිණිල්ල කෙරෙහි අවධානය යොමු කර ඇති ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් වරයා පවසා ඇත්තේ මෙමගින් ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාද කිරීමට හා භාෂණයට ඇති නීත්‍යානුකූල වරප්‍රසාද බරපතල ලෙසට උල්ලංඝණය කිරීමක් සිදු කර ඇති බවයි.

2. ‘‘නිළවරණයක් තුළින් පත්වී කටයුතු කරන ක්‍රිකට් ආයතනයේ පාරිපාලකයින් සම්බන්ධයෙන් විවිධ පර්ශව පදනම් විරහිතව සිදු කරනු ලබන ද්වේශ සහගහ ප්‍රකාශ ‘‘ යන දෙවැනි පැමිණිල්ල කෙරෙහි අවධානය යොමු කර ඇති ක්‍රීඩා අමත්‍යංශ ලේකම්වරයා පවසා ඇත්තේ කිසියම් අයකු විසින් කළා වූ අදහස් දැක්වීමක් නිසා කිසිවකුට අගතියක් සිදු වී ඇති නම් ඒ සම්බන්ධයෙන් රට තුළ පවතින නීතියට අනුව කටයුතු කළ යුතුව තිබියදී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර නීති ක්‍රමවේදයට මැදිහත් විය නොහැකි ජාත්‍යන්තර සංවිධානයකට පැමිණිලි කිරීම මගින් ක්‍රකට් ආයතනයේ ලේකම්වරයා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අභියෝගයට ලක් කර ඇති බවයි.

3.‘‘ක්‍රීඩා පනත යටතේ ඇතිකර ඇති විවිධ තනතුරු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලයට තරගකොට පරාජය වූ සහ එම හේතුව මත බැදියාවන් අතර ගැටුමක් ඇති අර්ජුන රණතුංග මහතා වැනි පුද්ගලයින් දේශපාලනික වශයෙන් පත්කිරීම‘‘ යන පැමිණිල්ලට පිළිතුරුදී ඇති ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ මෙ මගින් ක්‍රිකට් ආයතන ලේකම්වරයා ක්‍රීඩා අමාත්‍යවරයාට ව්‍යවස්ථාවෙන් හිමි වී ඇති අමාත්‍යවරයාගේ අභිමතය පරිදි ඕනෑම අයකු ක්‍රීඩා සභාවට පත් කිරීමේ අයිතිය අභියෝගයට ලක්කර ඇති බවයි.

4.‘‘අනෙක් සියලු ආකාරයේ මැදිහත් වීම් ‘‘ යන පැමිණිල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අමාත්‍යංශ ලේකම්වරයා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාගෙන් එකී කාරනා මොනවාදැයි ප්‍රශ්නකර තිබේ. ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා ශ්‍රි ලංකාවේ පවත්නා නීති යටතේ අමාත්‍යංශයට පැවරී ඇති බලතල අනුව ක්‍රියා කරනවා හැර වෙනත් කිසිදු දේශපාලන මැදිහත් වීමක් අමාත්‍යංශය විසින් සිදු කර ඇතිනම් ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කරන ලෙසද අමාත්‍යංශ ලේකම්වරයා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාට පවසා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් කිසියම් දේශපාලන මැදිහත් වීමක් වී ඇතැයි හැගී ගියේ නම් ක්‍රිකට් ආයතන ලේකම්වරයා පළමුව සිදු කළ යුතුව තිබුණේ අදාල අමාත්‍යවරයාට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරිම බවත් ඉන් සහනයක් නොලැබුනේ නම් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට තිබුණු බවත් ඉන්ද සහනයක් නොලැබුණෙ නම් රටේ නිතීයට අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තිබුණු බවත් ක්‍රිකට් ලේකම්වරයාට මතක් කරන අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ජත්‍යන්තර ක්‍රිකට් ආයතනය වෙත ක්‍රිකට් ලේකම්වරයා විසින් කළ කිසිදු පැමිණිල්ලකට එරෙහිව ක්‍රියා කිරීමට එම ආයතනයට නෛතික බලයක් නොමැති බවයි.

Aruna