Thursday, April 25, 2024
Follow Us
බොරැල්ල රෝහලේ වකුගඩු 52ක් ගලවලා

රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය රටින් පලා යෑමේ උත්සාහයක්


වකුගඩු ජාවාරමේ මූලස්ථානය වූ බොරැල්ලේ වෙස්ටන් පුද්ගලික රෝහලේ දී 2022 වසරේ දී පමණක් වකුගඩු බද්ධ කිරීම් 52ක් සිදු කර ඇතැයි නීතිපතිවරයා, අධිකරණයට ඊයේ (06) දැනුම් දුන්නේය.

මෙම සංවිධානාත්මක වකුගඩු ජාවාරමේ වෛද්‍ය වෘත්තියට සම්බන්ධ පිරිසක්ද සිටින බවත්, එම සියලු දෙනා පිළිබඳ විශේෂ විමර්ශනයක් පවත්වන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය වෙත දන්වා සිටියේය.

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන රෝහලේ ප්‍රධානී සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය හොර රහසේ රටින් පලා යෑමේ උත්සාහයක් ඇතැයි සඳහන් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, ඔවුන් සියලු දෙනාගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝග නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය, බොරැල්ල වෙස්ටන් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය වන මොහොමඩ් හුසේන් රිස්වි සරීෆ්, අමීනා රිස්වි සරීෆ්, මොහොමඩ් රිකාස් සරීෆ්. ෆාතිමා ගබ්බා සරීෆ්, ඔමාර් සරීෆ්, අමිතා කමලනි කස්තුරි ආරච්චි යන හය දෙනාගේ විදෙස් ගමන් වහාම තහනම් කරමින් නියෝග නිකුත් කළාය.

මෙම වකුගඩු ජාවාරමේ ප්‍රධාන සැකකරු බව කියන 41 හැවිරිදි මොහොමඩ් බසීර් මොහොමඩ් රාජාබ්ඩීන් හෙවත් බායි නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඊයේ ඉදිරිපත් කර තිබිණි.

එම සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණ සහිතව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය, සැකකරු ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළාය.

දිළිඳු පවුල්වල පුද්ගලයන් මුළාකර, මුදල් ලබා දෙන බව පවසා දේශීය සහ විදේශීය පුද්ගලයන්ට වකුගඩු විකිණීමේ මහා පරිමාණ ජාවාරමට අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් සමග පැමිණිල්ල නියෝජනය කරමින්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙසේ පැවැසීය.

නීතිපතිවරයා මෙම නඩුවට පෙනී සිටින්නේ මෙය අධිකරණ ඉතිහාසයේ සුවිශේෂී නඩුවක් වන නිසයි. ආර්ථික වශයෙන් විවිධ දුෂ්කරතාවලින් පෙළෙන කොළඹ නගරයේ ජීවත්වන පිරිස් විශේෂයෙන් ඉලක්ක කරගෙන වකුගඩු මුදලට එම පුද්ගලයන් ලබාගෙන දේශීය හා විදේශීය පුද්ගලයන්ට අලෙවි කිරීමේ මහා පරිමාණ ජවාරමක් සම්බන්ධයෙන් දෙරණ රූපවාහිනී නාළිකාවේ ‘උකුස්සා’ මගින් මුල් වරට අනාවරණය කළා. ඉන් පසුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මෙම වකුගඩු ජාවාරම පිළිබඳව විමර්ශන සිදු කළා.

එම විමර්ශනයේ දී රුපියල් ලක්ෂ 50 සිට ලක්ෂ 120 දක්වා මුදල් ලබාදෙන බව පවසා වයස අවුරුදු තිහත්, හතළිස් දෙකත් අතර වයසේ පසුවන පුද්ගලයන් 04 දෙනකුගේ සහ කාන්තාවකගේ වකුගඩු ගලවාගෙන තිබෙන බව අනාවරණය වුණා. මෙහි අලියදාස් නමැති කම්කරුවෙක් ඉන්නවා. ඔහුට රුපියල් ලක්ෂ 95ක් ලබාදීමේ පොරොන්දුව මත ඔහුගේ වකුගඩු ගලවාගෙන තිබෙනවා. ඔහු එම වකුගඩුව දී ඇත්තේ බොරැල්ලේ වෙස්ටන් රෝහලේ හිමිකරු වන මහාචාර්යවරයකු කියන වෛද්‍යවරයකුටයි.

මෙම වකුගඩු බද්ධ කිරීම් තුළින් දැනට අනාවරණය වී ඇත්තේ 06ක් පමණයි. මෙම ජාවාරමට ආධාර අනුබල දුන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වනවා. ලංකාවේ සිදු වූ වකුගඩු ජාවාරම, ජාලගතව ජාත්‍යන්තර මට්ටමින් සිදුවන ඖෂධ ජාවාරම, ආයුධ ජාවාරම, මිනිස් ජවාරම වගේ සිදුව තිබෙනවා. එම නිසා මෙය ඉතා සංකීර්ණ විමර්ශනයක්.

නිවාස ගන්න පුළුවන්, රට යන්න පුළුවන් කියා සිහින මවලා තමයි මෙම ජාවාරම කර ඇත්තේ. මෙලෙස වකුගඩු දීපු පුද්ගලයන් ඒවා දුන්නේ කාටද? කියා දන්නේ නෑ. මෙම වකුගඩු ජාවාරමේ තැරැව්කරුවන් සහ වෙස්ටන් රෝහලේ පාලනාධිකාරිය විසින් වකුගඩු මිලදී ගත් පුද්ගලයන් ලක්ෂ ගණනින් දුන් මුදල්, වකුගඩු ලබාදුන් පුද්ගලයන්ට නොදී යටි මඩි ගසාගෙන තිබෙනවා.

වෙස්ටන් රෝහලේ දී වකුගඩු ලබා දුන් පුද්ගලයන් කිහිප දෙනකුට රුපියල් ලක්ෂ 02 බැගින් මුදල් දී තිබෙනවා. එලෙස මුදල් දී ඇත්තේ අත් බෝම්බයක් තිබීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් කාලයේ දී විමර්ශන පැවැත් වූ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ වාහන අංගනය තුළදීයි.

එලෙස මුදල් ලබා දී ඉතිරි මුදල් ඉල්ලා වෙස්ටන් රෝහල වෙත ගොස් කරදර නොකරන ලෙසට වකුගඩු ලබාදුන් පුද්ගලයන්ට තර්ජනය කර තිබෙනවා. එම සිද්ධියට උසස් පොලිස් නිලධාරියකුත් සම්බන්ධ වී තිබෙන බව අනාවරණය වුණා.

අතිරේක මහෙස්ත්‍රාත්වරිය

අදාළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන ලෙස නියෝග කරනවා.

Aruna