Friday, April 26, 2024
Follow Us
රෑ එළිවන තුරු පැවැති උසස් පෙළ සම්මන්ත්‍රණයක් ගැන පොලීසියේ අවධානය

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා නුගේගොඩ ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ස්ථානයක ජීව විද්‍යා විෂයට අදාළ සම්මන්ත්‍රණයක් රාත්‍රී 09 සිට උදෑසන 06 දක්වා පවත්වා ඇති බව වාර්තා වනවා. ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිසුන් ඇතුළු 1200 ක් පමණ සහභාගී වී ඇති බවයි වාර්තා වුණේ.

එම සම්මන්ත්‍රණය රාත්‍රී කාලයේ පවත්වන බවට පොලීසියට ද දැනුම්දීමක් කර නැහැ. ඒ හේතුවෙන් නුගේගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සම්මන්ත්‍රණය අතරතුර අවස්ථා කිහිපයකදී එම ස්ථානය පරීක්ෂා කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

සම්මන්ත්‍රණය මෙහෙයවා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු වන අතර ඔහු උපකාරක පන්ති පවත්වාගෙන යන අයෙකු බව ද පොලීසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමේදී අනාවරණ වී ඇත්තේ අදාළ සිසුන්ගේ සහ මව්පියන්ගේ ඉල්ලීම මත එම සම්මන්ත්‍රණය පවත්වා ඇති බවයි. තමන්ට එම සම්මන්ත්‍රණය පැවැත්වීමට වෙනත් වේලාවක් වෙන් කිරීමට නොහැකි බැවින් රාත්‍රී කාලයේදී එය පැවැත්වීමට පියවර ගත් බව අදාළ ගුරුවරයා ප්‍රකාශ කර තිබෙනවා.

සිසුන්ගේ ආරක්ෂාවට මව්පියන් ද අදාළ ස්ථානයේ රැඳී සිටි බැවින් සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුව නොමැති බවයි පොලීසිය පැවසුවේ.

කෙසේවෙතත් රාත්‍රී කාලයේ විශාල පිරිසක් රැස්කර එවැනි උපකාරක පන්තියක් පැවැත්වීම සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස අදාළ ආයතන ප්‍රධානියාට සහ උපකාරක පන්ති ගුරුවරයාට දැනුම්දුන් බව ද පොලීසිය පැවසුවා.

Neth