Wednesday, April 24, 2024
Follow Us
වකුගඩුවකට රුපියල් කෝටි එකහමාරයි

වකුගඩු ජාවාරමේ ප්‍රධාන ඒජන්ත අල්ලයි


මහත් ආන්දෝලනයකට තුඩු දුන් බොරැල්ල, කොටා පාරේ පෞද්ගලික රෝහලක සිදු වූ බව කියන වකුගඩු ජාවාරමේ ප්‍රධාන නියෝජිතයා ලෙස කටයුතු කළ පුද්ගලයා කොළඹ දී ඊයේ (5 වැනිදා) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය, කජිමා වත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් බසීර් මොහොමඩ් රාජාබ්ඩින් නොහොත් බායි නමැති 41 හැවිරිදි පුද්ගලයෙකි.

ඉකුත් දින කිහිපයේදී සැකකරු ප්‍රදේශය හැරගොස් තිබූ අතර, කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක 2හි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නමලලට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.වකුගඩුවකට රුපියල් කෝටි එකහමාර, ලක්ෂ 80 ආදී විවිධ මිල ගණන් ලබා දෙන බව පවසා කොළඹ 14 සහ 15 ප්‍රදේශ වල පදිංචි දිළිඳු පවුල්වල පුද්ගලයන් සිව්දෙනකු සහ කාන්තාවකගෙන් වකුගඩු ලබාගෙන රුපියල් දෙලක්ෂ පනස් දහසක් වැනි සුළු මුදලක් ලබාදී මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

එලෙස බොරැල්ල පොලිසියට පැමිණිලි කළ පුද්ගලයන් සිව්දෙනා සහ කාන්තාව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පුද්ගලයන්ගේ එක් වකුගඩුවක් ඉවත් කර ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් ද තහවුරු වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. එලෙස වකුගඩු ලබාදුන් ලබාදුන් පුද්ගලයන් තමන්ට පොරොන්දු වූ මුදල ලබා නුදුන් බව පවසමින් බොරැල්ල පොලිසියට කළ පැමිණිල්ලක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කෙරිණි.

Aruna