Friday, August 22, 2025
Follow Us
සද්දේ නිසා වැළකුනු සිතුල්පව්වේ ඛේදවාචකය

වෙහෙරේ රන් වලට බැල්ම හෙලූ රන් මාමාගේ මොලේ ඇලේ යයි


සිතුල්පව්ව පූජා භූමියේ පිහිටි මගුල් මහා සෑයේ දින කිහිපයක සිටම නිධන් සෙවූ බව අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීමේදී සදහන් කර තිබේ.

නිධන් හෑරීම් ඇතුළු අපරාධ කිහිපයකට බන්ධනාගාරගතව දඩුවම් ලබා නිදහස ලබා සිටින රන් මාමා නැමැති අයෙක් මෙම කල්ලියේ මහ මොළකරු ලෙස පොලීසිය හදුනා ගෙන ඇත.

ඔහු ඇතුළු 05 දෙනෙක් සැගවී සිටියදී ඊයේ(02) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දින කිහිපයක්ම සිතුල්පව්වට ගොස් චෛත්‍ය අවට ආරක්ෂාව පිළිබද සොයා බැලූ බවත් ඒ එක් දිනක් බිත්ති සිදුරුකරන යන්ත්‍රයක් රැගෙන ගොස් නිධන් ඇතැයි අනුමාන කළ චෛත්‍යෙය් බද කොටසේ සිදුරු කිහිපයක් විද එම සිදුරුවලට රසායනික ද්‍රව්‍යයක් ඇතුළු කළ බවත් සැකකරු ප්‍රශ්න කිරීමේදී සදහන් කර තිබේ.

එම රසායනික ද්‍රව්‍යයෙන් සිදුවන්නේ චෛත්‍ය බදෙහි ඇති ඝණකම සැහැල්ලවීම බවත් දින කිහිපයකට පසුව සිව් දෙනෙක් සමග පැමිණ එම චෛත්‍ය බද හාරා ඇති බව පොලිසිය පවසයි.

යාල වනෝද්‍යානයේ සෆාරි ජිප් රථයක් පදවන පුද්ගලයෙක් විසින් නිධන් හාරන්නට පැමිණි සිව්දෙනාව රැගෙන විත් තිබෙන අතර පොලීසිය විසින් එම පුද්ගලයා සහ ඔහුගේ සහයකයෙක්ද අත්අඩංගුවට ගෙන ඇත.

සිතුල්පව්වේ ආරක්ෂාවට සිටි පොලීසියේ සහ හමුදාවේ නිලධාරීන්ට ඇසුණු ශබ්දයක් හේතුවෙන් ඒ ගැන විපරම් කිරීමේදී ඉකුත් 31 වෙනිදා රාත්‍රීයේ පිරිසක් පලායන අතර එක් අයෙක් අත්අඩංගුවට පත්විය.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී එම නිධන් කල්ලිය ගැන තොරතුරු හෙළිවී තිබේ.

ඒ අනුව ඊයේ අත්අඩංගුවට ගත් 05 දෙනා අතර කොරියාවේ කාලයක් රැකියාවේ නිරතව සිට පැමිණි පුද්ගයෙක්ද මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයෙක් ද සිටින බව පොලීසිය සදහන් කරයි.

(Aruna)