Friday, August 22, 2025
Follow Us
යළි නැගිටින අපේ ක්‍රිකට්

පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 14 ක ජයක්


සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 300ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 44ක් රැස් කිරීමට සමත්විය.

චරිත් අසලංක පන්දු 62කදී ලකුණු 72ක් රැස් කළේය.

පන්දු යැවීමේදී කේෂව් මහරාජ් සහ කගිසෝ රබාඩා කඩුලු 2ක් දවාගත් අතර ඒඩන් මාර්ක්‍රම්, සහ ටබ්රායිස් ෂම්සි එක් කඩුල්ලක් බැගින් දවාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 286ක් පමණි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ඒඩන් මාක්‍රම් ලකුණු 96ක් රැස්කළ අතර රසී වෑන් ඩර් ඩුසන් ලකුණු 59ක් රැස්කළේය.

පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුලු 2ක් දවාගත් අතර ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

ඒ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වී ඇත.

(Aruna)