Friday, August 22, 2025
Follow Us
වැඩිකරපු 5000 ගුරුවරු එපා කියයි

වැඩිකළ 5000 කොවිඩ් මර්ධනයට තබා ගන්නා ලෙස කියයි


ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණ ප්‍රතික්ෂේප කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය අවධාරණ කළා.

ඒ, අද (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

මෙම වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ වෘත්තීය සමිති විසින් ලබා දුන් යෝජනා කිසිවක් සැලකිල්ලට නොගෙන කැබිනට් අනු කාරක සභාවේ යෝජනාද ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අපොහොසත් වී ඇති බවයි.

රු. 5000කට මෙම අරගලය ලඝු නොකරන අතර කිසිම ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් මෙම රු. 5000 දීමනාව භාර නොගන්නා අතර එයද කොවිඩ් මර්දනයට තබා ගන්නා ලෙසයි වෘත්තීය සමිති නියෝජිතයින් කියා සිටියේ.
තවදුරටත් මෙම ප්‍රශ්නයට ඉදිරියට ගෙන නොයමින් ජනධිපතිවරයා හෝ මුදල් ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් මෙය විසඳන ලෙසද ඔවුන් ඉල්ලා සිටියා.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වල පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ පැවසුවේ මෙතෙක් කාලයක් ශක්තිමත්ව මෙම අරගලය සිදුකළේ රු. 5000කට එය ලඝු කිරීමට නොව ගුරු සේවයේ ගුණාත්මකභාවය මෙන්ම ගරුත්වය ද සැලකිල්ලට ගෙන බවයි.

එම නිසා කැබිනට් මණ්ඩලයේ තීරණය ප්‍රතික්ෂේප කරන බව උන්වහන්සේ අවධාරණය කළා.

මෙහිදී ලංකා ගුරුසේව සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ද අදහස් දක්වා සිටියා.

මාර්ගගත ඉගැන්වීම්වලින් ඉවත්ව සිදුකරන වර්ජනය තව දුරටත්

ඔහු පැවසුවේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති රු. 5000 කැරට් අලයට හසු නොවන බවයි. ඉල්ලීම් කර ඇති පරිදි කැබිනට අනුකාරක සභාවද එකඟ වූ පරිදි සුබෝධිනී කමිටු වාර්තාව පදනම්ව මෙම ගැටලුව විසඳන ලෙසයි ඔහු කියා සිටියේ.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේ ද රු.5000කට මෙම සටන පවනොදෙන බවයි.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් ඇමතිවරයාට ලබා දුන් යෝජනා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකර නොමැති බව ස්ටාලින් මහතා කියාසිටියේය.
වෘත්තීය සමිති විසින් නම්‍යශීලි යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන හෙයින් එයට අනුව මෙම ප්‍රශ්නය විසඳන ලෙසයි ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ.

ඒකාබද්ධ ගුරුසේවා සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර ඇතුළු තවත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් ද අදහස් දක්වා සිටියා.

(Aruna)