Thursday, August 21, 2025
Follow Us
සැප්තැම්බර් මැද ඔක්තෝම්බර් වෙද්දී මරණ ප්‍රමාණය අඩුවෙලා සහනශීලි තත්ත්වයක් උදාවෙයි - විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහනට අනුව වයස අවුරුදු 30ට වැඩි වයස් කාණ්ඩයට එන්නත් දී සම්පූර්ණ ප්‍රතිශක්ති ලැබූ පසු එනම් සැප්තැම්බර් මැද ඔක්තෝම්බර් වනවිට මරණ ප්‍රමාණය අඩු වී සහනශීලි තත්ත්වයක් ඇතිවනු ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

එන්නත් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති සම්පූර්ණ පිරිස සඳහා එන්නත් මාත්‍රා මිලියන 35.5ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වන අතර ඉන් එන්නත් මිලියන 22ක් දැනටමත් මෙරටට ලැබී ඇති බවයි ගුණසේන මහතා සඳහන් කරන්නේ.

එන්නත්කරණය පිළිබඳ ජාතික කමිටුව මඟින් පාසල් යන ළමයින්ට මෙම එන්නත් ලබාදීම සඳහා නිර්දේශ කර තිබෙන අතර ඉදිරියේදී එම නිර්දේශය සම්පූර්ණ වනු ඇති බවද ඔහු සඳහන් කරයි.

''ලංකාවට අවශ්‍ය සම්පූර්ණ එන්නත් ප්‍රමාණය මිලියන 35.5 ක පමණ වෙනවා. අද වෙනකොට ලංකාවට එන්නත් මිලියන 22ක් ලැබිල තියෙනවා. තවත් මිලියන 13ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ඉතුරු ටික සම්පූර්ණ කරගන්න. ඒකෙන් මිලියන 8ක් සයිනෝෆාම් එන්නතෙන් ලැබෙනවා. තවත් මිලියන 4ක් ඔක්තෝම්බර් මාසයේදී ෆයිසර් එන්නතෙන් ලැබෙනවා. මේ ටික ලැබුණහම ඒ අවශ්‍යකරන ඉලක්කයට යාම සඳහා අවශ්‍ය සියලුම එන්නත් ටික ලැබෙනවා. අපේ රටේ ජනතාවගෙන් 30ට වැඩි අයට එන්නත් ලබා දීල සම්පූර්ණ ප්‍රතිශක්තිය ලැබෙනවා සැප්තැම්බර් මැද විතර වෙද්දී. මේ නිසා මියයන ප්‍රමාණය අඩුවෙන්න පටන් ගන්න ඕනේ සැප්තැම්බර් මැද ඔක්තෝම්බර් වෙනකොට මේ තියෙන තත්ත්වය යම් ප්‍රමාණයක සහන ශීලි තත්ත්වයක් දක්නට ලැබෙනවා. මියයන රෝගීන් ගණන පැයකට කොච්චරද එහෙම නැත්නම් දවසට කීදෙනෙක් මැරුණද කියල ගණන් හදන එකෙන් අපි කාටවත් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. නිධන්ගත රෝගවලට නිසි ආකාරයෙන් ප්‍රතිකාර කරන්න. ඔබට යම්කිසි හෝ සැකයක් තියෙනවනම් කොවිඩ් රෝගය හැදිලා තියෙනවා කියල ඉතා හොඳින් විවේක ගන්න. නිසි පරිදි විජලනය වෙන්න දෙන්නේ නැතුව ඔබේ ශරීරය හොඳින් තියාගන්න. වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න දුරකතනයෙන්. අසනීප තත්ත්වය, ඇගපතේ අමාරුව දවසක් දෙකක් තුළ අඩුවක් වෙන්නේ නැත්නම් හැකි ඉක්මණින් රෝහලකට යන්න. මේ කාරණා පහ හෝ හය නියමිත පරිදි අනුගමනය කළොත් මියයන රෝගීන් ප්‍රමාණය අඩුකරගන්න පුළුවන්.'' යනුවෙන් ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් කියා සිටියි.

ඔහු මෙම අදහස් පළකළේ අද (28) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)