Thursday, August 21, 2025
Follow Us
තවත් සති තුනක්වත් රට ලොක්ඩවුන් කරන්නැයි ඉල්ලීමක්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් නිවේදනයක්


රට මුහුණ පා ඇති දැඩි වසංගත අවස්ථාවේ දැනට පවත්නා සංචරණ සීමා ලිහිල් නොකර අවම වශයෙන් තවත් සති තුනකට හෝ එම සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ඉන් පසු රටේ වාතාවරණය සමාලෝචනය කර ආරක්ෂිත ලෙස රට විවෘත කිරීමට ඉදිරි පියවර ගත යුතු බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම සිදු කරන එම සංගමය පවසන්නේ, දැනට භාවිතා වන සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව ඉතා ලිහිල් සහ නොසැලකිලිමත් ලෙස හැසිරෙන ආකාරය දැකීමෙන් රෝගය පැතිරීම උච්චතම මේ අවස්ථාවේදී ඔවුන් දැඩි කනස්සල්ලට පත්ව ඇති බවය.

රෝගය දැඩිව පැතිරීම වැළැක්වීම, දැඩි ලෙස රෝගාතුර වූ අයගේ සංඛ්‍යා අඩු කිරීම, මරණ සංඛ්‍යාව අඩු කිරීම යන ඉලක්ක කරා යෑමට හා ආර්ථිකය නැංවීම යන බලාපොරොත්තු මෙවැනි ලිහිල් සංචරණ සීමා මගින් කෙසේවත් බලාපොරොත්තු විය නොහැකි බවත් ඔවුහු අවධාරණය කරති.

එම සංගමය පෙන්වා දෙන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය 26 වනදා අප රටේ තත්ත්වය පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාව සහ ආර්ථික විශේෂඥයින් ආදී සියලු දෙනා යෝජනා කරන ප්‍රධාන කරුණක් නම් දැනට අප තාවකාලිකව මුහුණ දී සිටින ආර්ථික අපහසුතාවලින් මිදී රට නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමේදී මනුෂ්‍ය ජීවිත බේරාගැනීම සඳහා ප්‍රමුඛතාව දීම ඉතා වැදගත් වන බවය.

මෙවැනි පසුබිමක් යටතේ එම සංගමය ප්‍රධාන ඉල්ලීම් වශයෙන් යෝජනා කිහිපයක් සඳහන් කර තිබේ. එනම්,

1. රෝගීන් සංඛ්‍යාව අඩු කිරීම මගින් සෞඛ්‍ය අංශ මත ඇති දැඩි බලපෑම් අඩුකිරීම.

2. දිගුකාලීන වැඩපිළිවෙළක් මගින් රටේ ආර්ථිකය නැංවීමට කටයුතු කිරීම අවශ්‍ය බව සහ මේ සඳහා කෙටි කාලීන මාර්ග ගැන බලාපොරොත්තු නොතැබිය යුතු බව.

3. අන්තර්ජාතික ප්‍රජාවේ පිළිගැනීම සහ අනුමැතිය අනුව රට නැවත විවෘත කිරීමට කටයුතු කිරීමේ වැදගත් බව.

ඒ සඳහා රට තුළ දැනට ක්‍රියාත්මක සංචරණ සීමා, ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළේ ඉලක්ක සපුරා ගන්නා තුරු තවදුරටත් ඉතා දැඩිව ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු බව පවසමින් මෙමගින් ඔවුහු බලාපොරොත්තු වන කරුණු මෙලෙස අවධාරණය කරති.

1. කොරෝනා මරණ අඩු කිරීම මගින් ආර්ථිකයට වන පාඩු අවම කිරීම සහ එමගින් රට නැවත යථා තත්ත්වයට පත් කිරීමෙන් ආර්ථිකය නැවත ඉහළ නැංවීම

2. ඉතා දැඩි අර්බුදයකට ලක් වී ඇති සෞඛ්‍ය සේවා, කොරෝනා රෝගීන්ට මෙන් ම අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යථා තත්ත්වයට පත් කිරීම.

3. අන්තර්ජාතික ප්‍රජාව මගින් සංචරණය සඳහා ලබාදෙන “කොළ” තත්ත්වය මෙම වසර අවසානයේදී හෝ ලබාගැනීමෙන් ආර්ථික සංවර්ධනය සඳහා ඇති හැකියාව මුදුන්පත් කරගැනීම.

ඔවුන් පෙන්වා දෙන්නේ, ජනාධිපතිතුමා මෙන් ම රජය ද ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන් ම අනෙකුත් විශේෂඥ සංවිධාන සමග නිරන්තරව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අවශ්‍ය උපදෙස් ලබාගැනීම ඉතා වැදගත් වන බවය.

ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළේ ඉලක්ක කරා ළඟා වන තුරු මහජනතාව මෙයට ඉතා දැඩි ලෙස අනුගත වීම අත්‍යවශ්‍ය ම කරුණක් බව ද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

(Aruna)