Thursday, August 21, 2025
Follow Us
කොරෝනා එන්නත් ගත් 20,000ක් ගැන තොරතුරු නැති වූ හැටි හෙලි වෙයි

මෙතෙක් එන්නත්කරණයට ලක්කළ පුද්ගලයින් 20,000 කගේ පමණ තොරතුරු අස්ථානගත වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව ආරක්ෂක අංශ පවසනවා.

එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී ඊට බලපෑ කරුණු කිහිපයක් අනාවරණ වී ඇති බවයි.

ඒ අතරින් ප්‍රධානතම කරුණ බවට පත්ව ඇත්තේ නියමිත ක්‍රමවේදයට පරිබාහිරව ගොස් එන්නත් ලබා ගැනීමයි. ඒ අනුව ඇතැම් පුද්ගලයින් මීට පෙර එන්නත්කරණය සිදුවූ අවස්ථාවේදී තමන් අයත් ප්‍රදේශයේ සිට වෙනත් ප්‍රදේශවලට ගොස් එන්නත් ලබාගෙන ඇති බවටයි තහවුරු වී ඇත්තේ.

දේශපාලනඥයින්ගේ ඇතුළු විවිධ ඉහළ නිලධාරීන්ගේ සහාය ලබා ගනිමින් ඇතැම් පිරිස් එම ක්‍රියාව සිදුකර තිබෙනවා.

කෙසේවෙතත් එහිදී නිවැරදි ලෙස එම පුද්ගලයින්ගේ දත්ත පවා සටහන් කර නොගෙන එන්නත් ලබාදී ඇති බවටයි මේවනවිට වාර්තා වී ඇත්තේ.

ඒ අනුව එන්නත් ලබාදී තිබුණ ද එන්නත් ලබාගත් පුද්ගලයින් පිළිබඳ තොරතුරු සොයාගැනීමට නොහැකි වී තිබෙනවා.

එලෙස තොරතුරු සටහන් කර ගත්තා නම් පිට පළාත්වල සිට පැමිණ එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ තොරතුරු එමඟින් අනාවරණය වන බැවින් එය වැළැක්වීම සඳහා එලෙස හිතාමතාම තොරතුරු සටහන් කර ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සෞඛ්‍ය සේවකයින්ට එන්නත් ලබාදීම ප්‍රමුඛ කොට තිබූ අවස්ථාවේදී ඇතැම් දේශපාලඥයින්ගේ මැදිහත්වීමෙන් තමාට හිතවත් සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වල ඥාතීන්ට එන්නත් ලබාදී ඇති බව ද වාර්තා වනවා.

මෙලෙස තොරතුරු ඇතුලත් නොකර එන්නත් ලබාගත් පුද්ගලයින් මේ වන විට ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බවට ද වාර්තා වනවා.

ඒ, අදාළ එන්නත්වල දෙවන මාත්‍රාව ලබා ගැනීමට යාමේදීයි. ඔවුන් පළමු එන්නත ලබාගත් බවට දත්ත නොමැති වීම ඊට ප්‍රධාන ලෙස බලපා තිබෙනවා.

ඇස්ට්‍රාසෙනිකා මෙන්ම ෆයිසර් වැනි එන්නත් නියමිත ක්‍රමවේදයෙන් පරිබාහිරව පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයින් මෙම ගැටලුවට මුහුණ පා ඇති බවටයි ආරක්ෂක අංශ පැවසුවේ.

(Neth)