Thursday, August 21, 2025
Follow Us
සති දෙකක් තුළ සීනි මිල අසාමාන්‍ය ලෙස ඉහළ යයි

මේ වන විට වෙළඳපොලේ සීනි මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති තත්ත්වයක් පෙන්නුම් කරනවා.

මීට සති කිහිපයකට පෙර රුපියල් 115 ත් 130 ත් අතර මිලකට පැවති සීනි කිලෝවක මිල මේ වන විට 210 ත් 220 ත් අතර මිලකට ඉහළ ගොස් තිබෙනවා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ම ප්‍රකාශ කරන පරිදි මේ වන විට වෙළඳපොලේ රුපියල් 200 ට අලෙවි වන්නේ රුපියල් 105 කට ලබාදිය හැකි සීනි බවයි.

ඒ අනුව සීනි කිලෝ එකකින් රුපියල් සියයකට වඩා වැඩි ලාභයක් ආනයනකරුවන් හා ව්‍යාපාරිකයින් ලබන්නේ කෙසේ ද ?

පවතින තත්ත්වය හමුවේ වෙළඳපොලේ තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

පවතින තත්ත්වය පාළනය කරගන්න බැරිද ? නෙත් නිවුස් ඒ පිළිබඳ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගෙන් සෘජුව ප්‍රශ්න කළා.

ඉකුත් 09 වනදා නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අනාවරණය කරන විට එදින වන විට ගත වූ දින 10 තුළ සීනි කිලෝ ග්‍රෑම් 01 ක තොග මිල රුපියල් 25 කින් පමණ ඉහළ ගොස් තිබුණා.

ඒවනවිට වෙළඳපලේ සීනි කිලෝවක සිල්ලර මිල පැවතියේ රුපියල් 135 ක මට්ටමකයි. එහෙත් අද වන විට සීනි කිලෝවක මිල රුපියල් 220 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියෙන් විමසීමක් කළා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ සීනි ආනයනය මේවනවිට නතර කර ඇති බැවින් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

සීනි සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කථාබහක් මතුවූයේ රට තුළ සීනි මෙටි්‍රක් ටොන් 90,000 ක් පමණ තිබියදීත් ආනයනික සීනි කිලෝ ග්‍රෑම් 01 ක් මත පනවා තිබූ රුපියල් 50 ක බද්ද ශත 25 ක් දක්වා අඩු කළ බව කියූ සිද්ධියත් සමඟයි.

මෙරට මාසික සීනි පරිභෝජනය ආසන්න වශයෙන් මෙටි්‍රක් ටොන් 30,000 ත් 35,000 ත් අතර වනවා.

(Neth)