Thursday, August 21, 2025
Follow Us
අපි කියපු ක්‍රමයට එන්නත්කරණය කළා නම් මේ මරණවලින් සීයට 80ක් වළක්වා ගන්න තිබුණා - GMOA

කොවිඩ් එන්නත්කරණයේදී වයස අවුරුදු 60ට වැඩි අය සහ බෝනොවන රෝගවලින් පෙළෙන අයට ප්‍රමුඛතාව ලබාදෙමින් එය සිදුකරන ක්‍රමවේදයක් තමන් පසුගිය මැයි මාසයේදීම ජනාධිපතිවරයා වෙත බාරදුන් බවත් එහි සඳහන් ආකාරයට පළවෙනි එන්නත් මාත්‍රා මිලියන 10 භාවිතා කළේ නම් අද සිදුවන මරණ වලින් 80%කටත් වඩා වළක්වාගත හැකිව තිබුණු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

තමන් ඉදිරිපත් කළ එම ක්‍රමවේදයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද අනුමැතිය ලැබී තිබියදී ජනාධිපතිවරයාටත් ඉහළින් යමින් කිසියම් පාර්ශ්වයක් එය වෙනස් කර ඇති බවටයි එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා චෝදනා කළේ.

"රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම පෙන්වලා දුන්න කාරණයක් තමයි මේ එන්නත්කරණ ක්‍රියාවලිය තුළින් කොහොමද අපි මරණ ප්‍රමාණය අඩුකරගන්නෙ කියන එක. ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකත් ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉන්න විශෙෂඥ වෛද්‍යවරුන්ගේ මතයත් ඒකරාශී කරලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සඳහා ක්‍රමවේදයක් හදා දුන්නා. පහුගිය මැයි මාසයේදී එය ජනාධිපතිතුමන්ට බාරදුන්නාම ජනාධිපතිතුමන් ද එය පිළිඅරගෙන ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබාදුන්නා.

එතකොට එහිදී ප්‍රධානම පරමාර්ථය වුණේ මේ එන්නත්කරණ ක්‍රියාවලිය තුළින් කොහොමද 90%ක් පමණ අපි මරණ වළක්වාගන්නෙ කියන එක. මෙහිදී අපි පෙන්වා දුන්නු කාරණයක් තමයි වැඩියෙන් මරණ වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ, ඒවගේම බෝනොවන රෝගවලින් පෙළෙන අය. ඒ අයට ප්‍රමුඛතාවය දෙන ක්‍රමවේදයක්, එන්නත්කරණ ක්‍රමවේදයක් අපි හඳුන්වා දුන්නා. එහිදී අපි පෙන්වා දුන්නා රටට මිලියන 10ක් එන්නත් මාත්‍රා එනවිට 90%ක් මරණ වළක්වාගන්නෙ කොහොමද කියන එක.

අද වෙනවිට දළ වශයෙන් මිලියන 20ක් එන්නත් මාත්‍රා ඇවිල්ලා තියෙනවා. ඒ එන්නත් මාත්‍රා මිලියන 20න් පළවෙනි එන්නත් මාත්‍රා මිලියන 10 අපි හරියට දීලා තිබුණා නම් නිවැරදිම ක්‍රමවේදයට දීලා තිබුණා නම් මේ සිදුවන මරණවලින් 80%කට වඩා වළක්වාගන්න තිබුණා. එහිදී ජනාධිපතිතුමන් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීලා තියෙද්දීත් අපට දැකගන්න පුළුවන් වුණා ජනාධිපතිතුමන්ගේ උපදෙස්වලටත් උඩින් ගිහිල්ලා ඇතැම් පාර්ශ්ව මේ ක්‍රමවේදය වෙනස් කරනවා. එතකොට මේක පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥවරුන් දෙදෙනා ජනාධිපතිතුමාටත් ඉහළින් ඒ නියෝග ක්‍රියාත්මක කිරීමට සිදුවූ හේතුව පැහැදිලි කරන්න ඕනෙ"

වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)