Thursday, August 21, 2025
Follow Us
ඇන්ටිජන් කට්ටල ඒකාධිකාරය පසුපස ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ ජුන්ටාවයි - කුමුදේශ්

මෙරට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මාෆියාව පසුපස සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ වෛද්‍ය විශේෂඥයින් පිරිසක් බවත් ඔවුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා සකස් කරගෙන ඇත්තේ රටේ අවශ්‍යතාව වෙනුවෙන් නොව ඔවුන්ට මුදල් ඉපයීම සඳහා බවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

"අපි දිගින් දිගටම කතා කරනවා මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පරීක්ෂණ සිදුකිරීමට මිනිස්සුන්ට තියෙන සංකීර්ණ බව දවසින් දවස වැඩිකරලා මේ රෝගය ප්‍රචාරය කරන්න සහයෝගය දෙන්නෙ ඇයි ?

සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය සඳහා මාර්ගෝපදේශයක් ගහලා තියෙනවා. ඒකෙ ප්‍රධාන කරුණු හතරෙන් එකක් විදියට තියෙන්නෙ මේක තම තමන්ගෙ වුවමනාව මත, ස්ක්‍රීනින් පරීක්ෂණයක් විදියට ඒගොල්ලො නොකියන රසායනාගාරවල කරන්න බෑ. ඒ ගයිඩ්ලයින් එක පුරාවට තියෙන්නෙ මේ පරීක්ෂණය නොකර සිටීමට දාලා තියෙන නීති. එතකොට අපි අහන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න විශෙෂඥයො එකතුවෙලා - මේ විශෙෂඥයො මොන කාරණාවන්වලටද විශේෂඥ කියලා අපි කියන්න යන්නෙ නෑ, නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය හැමදාම හැමදේටම ජුන්ටාවන් හදාගත්තා - ඒගොල්ලො උත්සාහ කරනවා එක පැත්තකින් මේ පරීක්ෂණ කරන එක ඒගොල්ලො ඉන්න රසායනාගාරවලට විතරක් සීමා කරගන්න. අනිත් පැත්තෙන් ඒගොල්ලො බලනවා මේ පරීක්ෂණය නවත්තලා පීසීආර් පරීක්ෂණ මාෆියාවක් ක්‍රියාත්මක කරගන්න. මේක ගැන අපි දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ජනාධිපතිවරයාටත් කරුණු කියලා තියෙනවා. නමුත් අඩුම ගාණෙ එක අවස්ථාවක්වත් අපට දීලා නෑ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න.

එතකොට අද වෙනකොට රෝහල්වල ක්ෂණික පරීක්ෂණ කරන්නෙ වෛද්‍යවරු. රෝගීන් බලාගන්න වෛද්‍යවරු නැතිව ඉන්දැද්දී අපි කියනවා ගිහිල්ලා බලන්න ජාතික රෝහලට, ජාතික රෝහලේ රසායනාගාර විද්‍යාඥයන් කරකර හිටපු පරීක්ෂණ ටික අධ්‍යක්ෂවරයා ගලවලාගෙන ගිහිල්ලා දැන් දවස පුරා වෛද්‍යවරු දහයකට වැඩි ප්‍රමාණයක් දාලා තියෙනවා පරීක්ෂණ කරන්න. එක පැත්තකින් වෛද්‍යවරුන්ගෙ රාජකාරිය කරන්න මිනිස්සු නැතිවෙනවා, අනිත් එක පරීක්ෂණ වැරදියට වාර්තා වෙනවා. ඒ වගේම මේවා මොනවටද යොදවා ගන්නෙ කොහේද කරන්නෙ කියන එක කවුරුවත් දන්නෙ නෑ. අපට වාර්තා වෙනවා සමහර වෛද්‍යවරු තමන්ගෙ පෞද්ගලික මධ්‍යස්ථානවල කරනවා, හැබැයි රසායනාගාරවල කරන්න තහනම් !

මේවා අපි කියන්නෙ මේ වෘත්තීයමය භේද හදාගන්න නෙවෙයි. අද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරලා තියෙන්නෙ කොරෝනා වසංගතයට දාන මේ ගයිඩ්ලයින් කියන මාර්ගෝපදේශ පවා එක එක්කෙනා තමන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් යොදවා ගන්නවා. වෛද්‍ය පරීක්ෂණයක් කරන්න තමයි මේ රටේ වෛද්‍ය සභාවෙ ලියාපදිංචි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෙක් ඉන්නෙ. අපි කවදාවත් කොයිම තැනකවත් පරීක්ෂණයක් කරන්න බැහැයි කියලා නෑ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගයිඩ්ලයින් ගහන අය කියනවා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයක් කරන්නත් ක්ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍යවරයෙක් ඕනෙලු. රටේ මේ හතරක් පහක් ඉන්න ක්ෂුද්‍රජීවී වේදියෙක් අරගෙන පරීක්ෂණ කරන්න යොදවා ගන්නවා කියන්නෙ මේ රට කොච්චර නාස්තියක් කරනවාද ? පරීක්ෂණයක් කරන්න එහෙම වේදියෙක් ඕනෙත් නෑ, ඒගොල්ලො කළා කියලා ඒවා නිවැරදි වෙන්නෙත් නෑ. හැබැයි ගයිඩ්ලයින් එක හදන්න ගෙන්වා ගන්නෙ ඒගොල්ලො විතරක් නිසා ඒගොල්ලො බලනවා කොහොමද එයාලාට ගතමන්ට් එකක් එන විදියට මේක හදාගන්නෙ, කොහොමද එයලා නැති තැන්වල මේක නවත්තන්නෙ කියලා.

මේ රටේ මේ මොහොතේ සමාජගත වෙච්ච රෝගයක් තියෙන්නෙ. ඒක තාම සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නෙ නෑ. සමාජගත වෙච්ච රෝගයකදී ලෝකෙ තියෙන්නෙ සෙල්ෆ් ටෙස්ටින්, හෝම් ටෙස්ටින්. හැබැයි අපෙ රටේ මිනිස්සුන්ට තියෙන්නෙ ටෙස්ට් කරන්න බැරිවෙන්න අදාළ ගයිඩ්ලයින්. ක්ෂණික ප්‍රතිදේහජනක කට්ටල එකම එකයි තාම ලංකාවෙ තියෙන්නෙ. ඒක නිසා බරපතළ ඒකාධිකාරයක් ගොඩනැගෙනවා. ඒක සාමාන්‍ය තත්වයක් ව්‍යාපාරයකදී. අපෙ රටෙ සෞඛ්‍ය අමාත්‍යාංශය එකම එක කට්ටලයක් තියාගෙන මේ කරන එකෙන් පරීක්ෂණයක් කරන්න විශාල මුදලක් ගෙවන්න වෙලා තියෙනවා. ඉස්සර පීසීආර් කට්ටලයක් ගත්තෙ 5500ට. අද 800 ටත් ඊට වඩා හොඳ කට්ටල තියෙනවා. එනිසා පීසීආර් කට්ටලයටත් වඩා වැඩි මුදලකට ගන්න සිදුවෙලා තියෙනවා ක්ෂණික ප්‍රතිදේහජනක කට්ටලයක්. ඒක වෙලා තියෙන්නෙ කට්ටල විකුණන පුද්ගලයාගෙ ප්‍රශ්නයකට වඩා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ ඒකාධිකාරීන් රකින්න විශේෂඥයින්ගෙ පෞද්ගලික වුවමනවන් රකින්න රටේ අවශ්‍යතාවට වඩා තීරණ ගැනීමේ ක්‍රියාවලිය තමන්ට වුවමනා විදියට කරන්න බරපතළ උත්සාහයක් ගන්න හින්දා.

එනිසා අපි ඉල්ලනවා ලංකාව පුරා පරික්ෂණ කරගැනීමට ඇති හැකියාව මහජනතාවට කරුණාකරලා ලබාදෙන්න. අපි ලෑස්තියි දිසා රෝහල් දක්වා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කරන්න, රැපිඩ් පීසීආර් කරන්න, අපි ලෑස්තියි ප්‍රධාන රෝහල්වල පැය 24 පුරා පීසීආර් පරීක්ෂණ කරන්න"

රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ පෙරේදා (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

(LNW)