Thursday, August 21, 2025
Follow Us
ස්පුට්නික් දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමේ ප්‍රමාදයක්

ස්පුට්නික් කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේදී යම් ප්‍රමාදයන් ඇති විය හැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඔහු කියා සිටියේ ඇනවුම් කළ එම එන්නත් මාත්‍රා ලැබීමේ ප්‍රමාදයක් හේතුවෙන් එවැනි ප්‍රායෝගික ගැටලු ඉදිරියේදී මතුවිය හැකි බවයි.

මේවනවිට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් එක් ලක්ෂ 59, 088 දෙනෙකුට ලබා දී තිබෙනවා.

ඉන් පුද්ගලයින් 14,573 දෙනෙකු සඳහා එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ප්‍රායෝගික ගැටලු මතු වුවද ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 80,000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගන ආවා.

ඇසුරුම් 14 ක ගබඩා කර ඇති එම එන්නත් මාත්‍රා තොගය කටාර් ගුවන් සේවයට අයත් යානයක් මගින් මෙරටට රැගෙන ආ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

අදාළ එන්නත් මාත්‍රා තොගය, ගුවන් තොටුපළ වෙත ගොඩබෑමෙන් පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව වෙත රැගෙන යනතෙක් , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ ගබඩා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

(Neth)