Thursday, August 21, 2025
Follow Us
මෙරට දෛනික කොරෝනා මරණ සිදුවීමේ සම්භාවිතාව සියයට 146කින් ඉහලට

ගතවූ සතියක කාලය සැසදීමේදී මෙරට දෛනික කොරෝනා මරණ සිදුවීමේ සම්භාවිතාව සියයට 146කින් ඉහල ගොස් තිබෙනවා.

අගෝස්තු 05 වනදා සිට ගතවූ දින 14 තුළ පමණක් මෙරටින් කොරෝනා මරණ 1,969 ක් වාර්තා වී තිබෙනවා.

එය සැලකීමේදී දෛනික කොරෝනා මරණ වාර්තා වීමේ සම්භාවිතාවද 140 සීමාව ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයක්.

ඉකුත් අගෝස්තු 05වනදා සිට අගෝස්තු 11වනදා සතිය සැලකීමේදී එම සතිය තුළ වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 799 ක්.

ඉකුත් 12වනදා සිට 18 වනදා දක්වා සතිය සැලකීමේදී වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1,170 ක් වනවා.

ඒ අනුව ගතවූ සතිය හා සැසදීමේදී ඊයේ දිනයේ අවසන් වූ සතිය තුළ මරණ වාර්තා වීම සියයට 146 යි දශම හතරකින් වැඩි වී තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙරට කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින් අතරින් 97කට අධික පිරිසක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබා නොගත් පුද්ගලයින් බව අනාවරණය වී ඇති බවයි.

ඉකුත් අගෝස්තු 05වනදා සිට 18 වනදා දක්වා දින 14තුළ ක්‍රමිකව දෛනික මරණ 98 සිට 186 ක් දක්වා වර්ධනය වී ඇති අයුරුද දැක ගත හැකියි.

ඒ අතරින් පිට පිට දින 08දීම දෛනික කොරෝනා මරණ 150හේ සීමාව ඉක්මවා ගොස් තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.

මේ අතර දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා.

ඒ අනුව ඉකුත් 19වනදා මෙරටදී කොරෝනා මරණ 195 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

මේ අතර දිනක් තුළ වාර්තා වු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද ඊයේ මෙරටින් වාර්තා වුණා.

ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවා 3,839ක් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.

(Neth)