Thursday, August 21, 2025
Follow Us
ඩෙල්ටා ගැන අලුත්ම අනාවරණය - රෝග ලක්ෂණ පහළවීම දින 05 කින් පසු

ඩෙල්ටා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුට රෝග ලක්ෂණ පහළවීම සඳහා අවම වශයෙන් දින 05 ක හෝ 06 ක කාලයක් ගතවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණවලදී අනාවරණය වී තිබෙනවා. රෝග ලක්ෂණ පහළ නොවුවද තවත් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීම සිදුවන බැවින් මෙය ඉතා භයානක තත්තවයක් බවයි එම විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ.

පූර්ව‍ රෝග ලක්ෂණ සමයේදී වෛරසය පැතිරීම ප්‍රතිශතය 74 ක් බවට අනාවරණය කරගෙන ඇති අතර මෙතරම් සීග්‍රයෙන් වෛරසය පැතිරීම සිදු වන්නේ ඒ නිසා බවද ජීවන්දර මහතා පවසනවා. මේ නිසා නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම, හැකිතරම් සමාජයට නිරාවනරණය නොවී සිටීම සියලු දෙනාගේම ආරක්ෂාවට අතිශය වැදගත් වේ.

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ට ඩෙල්ටා වෛරසය ආසාදනය වීමේ හැකියාව සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා 65% කින් අඩු බවද පර්යේෂකයන් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා එන්න්තකරණය අතිශය වැදගත් බවද චන්දිම ජීවන්දර මහතා පවසනවා.

(LNW)