පවතින වසංගතය පාලනය කිරීම සඳහා සංචරණ සීමා පනවන ලෙස තවදුරටත් රජයට හෝ බලධාරීන්ට බලකිරීමට බලාපොරොත්තු නොවන අතර අවසාන වශයෙන් මේ ඛේදවාචකය ගැන පැවසීමට ඇත්තේ මහජනතාවට බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ පවතින තත්ත්වය පාලනය කරගැනීම සඳහා එළඹෙන සදුදා සිට දින 07ක් ස්වයං සංචරණ සීමා පනවාගන්නා ලෙසයි.
''තවදුරටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ලෙස අපි රජයට හෝ බලධාරීන්ට බලකරන්න බලාපොරොත්තුවෙන්නේ නැහැ මේ රටේ පවතින වසංගතය පාලනය කිරීම සඳහා සංචරණ සීමා පනවන්න කියල. නමුත් මේ පවතින ඛේදවාචකය කියන්න ඉන්නේ එකම පාර්ශවයයි. ඒ රටේ මහජනතාව. දවසකට 150ක් මියයන්නේ ඔබගේ දෙමව්පියන්. ඔබගේ සහෝදරයින්. ඔබගේ දරුවන්. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලනවා අපි ලබන සඳුදා දිනයේ ඉඳල මේ රටේ සියලුම දෙනා එකතුවෙලා ස්වයං සංචරණ සීමා පනවා ගමු කියල. පවතින තත්ත්වය පාලනය කරගැනීමට තියෙන එකම විකල්පය තමයි සංචරණ සීමා පනවන එක. එහෙම නීතියක් රටේ පනවල නැති නිසා ලබන සඳුදා ඉඳල දින 7ක් සම්පූර්ණයෙන්ම සංචරණ සීමා දැඩිව පනවා ගෙන අපේ අසල්වැසියන්ගේ හිතවතුනේ දෙමව්පියන්ගේ ජීවිත ආරක්ෂා කරගමු කියල කියනවා.''
මේ අතර කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති නිර්දේශ කිසිවක් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතට වැටී නැති බවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.
(LNW)