Wednesday, August 20, 2025
Follow Us
ආයුර්වේද ප්‍රතිකාර ගත් ආසාදිතයන් මියගිහින් නෑ

සුවය ලැබූවන්ට ආයුර්වේදයෙන් පශ්චාත් ප්‍රතිකාර සිදු කරයි


ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ලැබූ කොවිඩ් ආසාදිතයන් දෙදහස් අටසිය හතළිස් තුන්දෙනකු (2843) සංකූලතාවකින් තොරව සම්පූර්ණ සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති බව ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන පැවසීය.

ඊයේ (11 වැනිදා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ආයුර්වේද රෝහල් වෙත ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි කිසිදු කොවිඩ් ආසාදිතයකු මියගොස් නොමැති බවය.

 

මේ වනවිට ආයුර්වේද රෝහල්වල කොවිඩ් ආසාදිතයන් අටසිය තිස් පහක් (835) නේවාසිකව ප්‍රතිකාර ලබන බවද කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

එසේම මෙම ආසාදිතයන් සුවය ලැබීමෙන් පසු පශ්චාත් ප්‍රතිකාර සිදු කිරීමක් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ‘අපේ වෙදමහත්තයා’ වෙබ් අඩවියෙන් අවශ්‍ය ඖෂධ වට්ටෝරු ලබාගත හැකි බවද ආයුර්වේද කොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(Aruna)