Wednesday, August 20, 2025
Follow Us
කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන් ගණන 700 දක්වා ඉහළට

කොරෝනා වැළදුනු මව්වරුන් 19ක් ජීවිතක්ෂයට


කොවිඩ් ආසාදිත වූ ගර්භණී මව්වරුන් හත්සීයක් දෙනා මේ වන විට රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටින අතර මව්වරුන් දහනව දෙනෙකු මියගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කරයි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා

මෙසේ මියගොස් ඇති සියලුම ගර්භණී මව්වරුන් කිසියම් සංකූලතාවකින් පෙළුණ අය බවද ඇය වැඩිදුරටත් පෙන්වා දේ.

කොවිඩ් වයිරස ආසාදනය වීම හේතුවෙන් විවිධ සංකූතාවන්ට ලක්ව දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන මව්වරුන්ගේ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතින බැවින් වහාම ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයි ඇය සියලුම ගර්භණී මව්වරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

එන්නත සම්බන්ධයෙන් කොතෙක් දැනුවත් කළ ද තවමත් එන්නත ලබාගෙන ඇත්තේ ගර්භණී මව්වරුන් තිස් දහසක් පමණක දෙනා යැයිද ඇය සඳහන් කරයි.

රෝගය පැතිරීම වේගවත් වී ඇති බැවින් මේ මස අවසන් වීමට පෙර සියලුම ගර්භණී මව්වරුන්ව එන්නත්කරණයට ලක් කළ යුතු බැවින් ආසන්න රජයේ රෝහලක් වෙත හෝ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් අදාළ එන්නත ලබාගැනීමට කටයුතු කරන්නැයිද ඇය මව්වරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

(Aruna)