Wednesday, August 20, 2025
Follow Us
බස්නාහිර පළාතේ විශේෂ කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහන ඇරඹේ

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි මෙතෙක් කොවිඩ් මර්දන එන්නත් නොගත් ජනතාව සදහා සැලසුම් කළ විශේෂ තුන් දින එන්නත්කරණ වැඩසටහන අද ආරම්භ වනවා.

මෙතෙක් එන්නත් ලබා නොගත් වයස අවුරුදු 60 ට වැඩි බස්නාහිර පළාතේ ජනතාව පිළිබද තොරතුරු කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් එක්රැස් කර ගෙන තිබෙනවා. ඒ අනුව එන්නත ලබාදෙන දිනය, ස්ථානය, පැමිණිය යුතු වේලාව සහ ජංගම දුරකතන කෙටි පණිවුඩයක් එම මධ්‍යස්ථානය මගින් එම පිරිස වෙත එවනු ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව සදහා නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද, හෙට සහ අනිද්දා යන දිනවලදී එන්නත් ලබාදීම සිදු කෙරෙනු ඇති. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව සදහා එන්නත් ලබාදීම ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී හෙට සිට දින 03 ක් පුරා සිදු කෙරෙනවා.

කලුතර දිස්ත්‍රික්කයේ එන්නත් ලබා නොගත් වයස අවුරුදු 60 ට වැඩි ජනතාව වෙනුවෙන් එන්නත් ලබාදීම කලුතර දිස්ත්‍රික් මහ රෝහලේදී හෙට දිනයේ සිදු කෙරෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි මෙතෙක් එන්නත් නොගත් යම් අයෙකු සිය තොරතුරු සපයා නොමැති නම් හෝ මෙම වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරු විමසීමට අවශ්‍ය නම් 1906 දුරකතන අංකය අමතන ලෙස කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා.

(Neth)