Wednesday, August 20, 2025
Follow Us
ගෝනියක් තුළ තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

වෙළෙඳසැළක ඇති ගෝනියක තිබී මියගිය කාන්තා සිරුරක් සොයාගෙන තිබෙනවා. 55 හැවිරිදි කාන්තාවක් අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඊයේ සවස් වරුවේ වාලච්චේන පොලීසියට ලැබී තිබූ අතර ඒ අනුව ස්ථානාධිපතිවරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සිදුකරගෙන ගිය විමර්ශන අනුව ලද තොරතුරක් අනුව ප්‍රදේශයේ පිහිටි සුරතල් මසුන් සහ ගෝනි අලෙවිකරණ වෙළෙඳසැලක් තුළ තිබී සැකකටයුතු පොහොර බෑග් දෙකක් ගැන සිදුකළ විමර්ශනයේදී මෙම කාන්තා මළසිරුර සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

අතුරුදහන් වූ බවට පැමිණිලි ලද කාන්තාවගේ මළසිරුර එම ගෝනිය තුළ තිබෙන බවට විශ්වාස කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෙළෙඳසැලේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙම කාන්තාව බැංකුවට යන බවට නිවසින් පිටව ගොස් ඇති බවට ද පරීක්ෂණ වලදී හෙළිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඒ අනුව මෙම කාන්තාව සමග බැංකුවට ගිය ත්‍රිරෝද රථයේ රියැදුරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වාර්තා වන පරිදි අදාළ වෙළෙදසැලට ගෝනි දෙක ගෙනවිත් භාරදී ඇත්තේ මෙම ත්‍රිරෝද රථ රියැදුරු බවද පොලිසිය සිය විමර්ශන වලදී අනාවරණය කර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අද දිනයේදී සිදුකිරීමට නියමිතයි.

(Neth)