Monday, August 18, 2025
Follow Us
රට ගොස් නොඑන සරසවි ඇදුරන් සේවය හැර ගියා සේ සලකයි

විදෙස්ගත ආචාර්යවරුන් ගැන සියලු තොරතුරු කැඳවයි


කොවිඩ් වසංගතය යැයි කියමින් මෙරටට නොපැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල ආචාර්යවරු සේවය හැර ගියා සේ සැලකීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සූදානම් වෙයි.

මේ පිළිබඳ අවධානය යොමු කිරීමට කොමිෂන් සභාව පියවර ගෙන ඇත්තේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන් මැද පෙරදිග රටවලට ගොස් විවිධ ස්ථානවල සේවයේ යෙදෙන බවට ලැබී ඇති පැමිණිලි අනුව ය.

මෙම තත්ත්වය මත මේ වන විට විදෙස්ගතව සිටින ආචාර්යවරුන් සම්බන්ධයෙන් සියලු තොරතුරු කැඳවීමට කොමිෂන් සභාව කටයුතු කර ඇත. විදෙස්ගත වීමට හේතුව, විශ්වවිද්‍යාලය මගින් නිවාඩු ලබා දුන් ආකාරය, විදෙස්ගත වූ කාලය, නිරෝධායනය වන්නේ නම් ඒ කෙදිනක සිට ද යන්න සහ නිරෝධායනය වූයේ නම් අදාළ සහතිකය සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළ යුතු බව සියලු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට කොමිෂන් සභාව දැනුම් දී ඇත.
පිළිගත හැකි තොරතුරු අනුව පමණක් අදාළ ආචාර්යවරුන්ට විශේෂ නිවාඩු ලබා දීමට ද කොමිෂන් සභාව තීරණය කර තිබේ.

විවිධ අවශ්‍යතා මත දැනට විදෙස්ගතව සිටින ඇතැම් ආචාර්යවරුන් කොවිඩ් වසංගතය දඩමීමා කර ගනිමින් මෙරටට පැමිණීමට හෝ උත්සාහ නොකරන බවට පැමිණිලි ලැබී තිබේ යැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් එම කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය.

(Aruna)