Sunday, August 17, 2025
Follow Us
ගැබිනියන් සේවයට කැඳවීම නවත්වන්න

ගැබිනියන් වැඩට ගෙන්වීමේ තීරණය වෙනස් නොකොළොත් වෘත්තීය ක්‍රියාමාර්ග


රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන් අනිවාර්යෙන්ම සේවයට කැඳවීමට ගෙන ඇති තීරණය හකුළා නොගතහොත් හෙට (03 වැනිදා) සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

එහි ලේකම් ධම්මික මුණසිංහ ප්‍රකාශ කළේ කොවිඩ් 19 වසංගතය සීඝ‍්‍රයෙන් පැතිර යන මෙවන් මොහොතක මෙවැනි තීරණයක් ගැනීම බරපතළ බවය.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් පසුගිය 30 වැනිදා නිකුත් කළ චක්‍රලේඛයේ රාජ්‍ය නිලධරයන් බහුතරයක් එන්නත්කරණයට ලක්කර ඇතැයි සඳහන් කර තිබුණද එවැන්නක් නිසියාකාරව සිදු කර නොමැති බවද හෙතෙම කිවේය.

එවැනි මොහොතක ගර්භණී කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන්ද අනිවාර්යෙන්ම සේවයට කැඳවමින් රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම දැඩි ලෙස හෙලා දකින බවද ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර කොවිඩ් 19 වසංගතය සීඝ‍්‍රයෙන් පැතිර යන සහ එන්නත්කරණය සියයට සියයක් අවසන් කර නොමැති මොහොතක රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම සිදු නොකළ යුත්තක් බව සංවර්ධන නිලධාරී සේවා සංගමය අද ප්‍රකාශ කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සුරියආරච්චි ප්‍රකාශ කළේ රජය විසින් ගෙන ඇති මෙම තීරණය අසාධාරණ බවත් ගර්භණී කාන්තාවන්ට සහ කිරිදෙන මව්වරුන්ට කඩිනමින් සහනයක් ලබාදෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බවත්ය.

චාමර පල්ලේගෙදර

(Aruna)