Sunday, August 17, 2025
Follow Us
වසංගතයේ දරුණුම පැතිරීම ඉදිරි මාසවලදී

ශ්‍රී ලාංකාවේ කොවිඩ් 19 වසංගතයේ දරුණුතම ව්‍යාප්තිය ඉදිරි මාස කිහිපය තුළ සිදුවිය හැකි බව හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යාව පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් පවසයි.
එසේම ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට එන්නත් මාත්‍රා 02ක් ප්‍රමාණවත් නොවන බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

පසුගිය වකවානුවෙ ගෝලීය වශයෙන් සහ දකුණු ආසියානු කලාපයේ ද මූලික වශයෙන් කොවිඩ් 19 වසංගත ව්‍යාප්තියේ පහත වැටීමක් පැවතුණත් නැවත වතාවක් දකුණු ආසියානු කලාපය ඇතුළුව ගෝලීය වශයෙන් වසංගතයේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. මීට මූලික වශයෙන් හේතු වී ඇත්තේ නව ඩෙල්ටා ප්‍රභේදයයි. මෙම ප්‍රභේදය නිසා ඉන්දියාවේ විශාල විනාශයක් සිදු වූ අතර ඉදිරි සති කිහිපය තුළ එය ලංකාවටද විශාල බලපෑමක් ඇතිකරනු ඇතැයි මම අවධාරණය කරන්න ඕනෙ. ඉදිරි මාස කිහිපය තුළ දරුණුතම කොවිඩ් වසංගතයට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇති බවට අනතුරු ඇඟවීමක් නොකළොත් මහජන සෞඛ්‍ය වෘත්තිකයකු වශයෙන් මම මගේ යුතුකම පැහැර හැරීමක් සිදුකළා වෙනවා.

හොඳින් සිදුකෙරෙන එන්නත්කරණය ඉදිරියට ගෙන යෑම ගැන රජයට මම සුබ පැතුම් එක් කරනවා. කෙසේ වෙතත් ඔබ දන්නා පරිදි සැලකිය යුතු බලපෑමක් ඇතිකිරීම සඳහා එන්නත් මාත්‍රාවක් දෙකක් ලබාගැනීම අවශ්‍ය වෙනවා. නමුත් ඉදිරි මාස කිහිපය තුළ ඩෙල්ටා ප්‍රබේදයෙන් ආරක්ෂා වීමට එම මාත්‍රා දෙක ලබා ගැනීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ පිළිබඳව ජනතාවට හොඳින් උපදෙස් ලබා දී ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

මහාචාර්ය මලික් පීරිස් සායනික හා මහජන වසංගත විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන අතර ඉන්ෆ්ලුවෙන්සා, කොරෝනා වයිරස් පිළිබඳ අධ්‍යයනයෙහි විශේෂ උනන්දුවක් දක්වන්නෙකි. 2003 දී සාර්ස් රෝගයට නව කොරෝනා වයිරසය හේතු වූ බව සොයා ගැනීමේ දී මහාචාර්ය මලික් පීරිස් විශාල කාර්යභාරයක් ඉටු කළේය.

(Aruna)