Thursday, August 14, 2025
Follow Us
එන්නත ලබා නොගත් අයට ජංගම රථවලින් එන්නත්

කොළඹ නගර සීමාව තුළ සිටින පුද්ගලයන්ට කොවිඩ් එන්නත ලබාගැනීම සඳහා ජංගම එන්නත් ගිලන් රථ යොදවා ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පැවැසීය.

මෙතෙක් කොළඹ නගර සීමාව තුළ එන්නත ලබානොගත් පිරිස සොයා එන්නත් කිරීම සඳහා මෙම ගිලන් රථ යොදවා ඇති බව ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේය.

කොළඹ නගර සීමාව තුළ සිටින ජනතාවට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමට තවත් ඇත්තේ දින 10 ත්, 12 ත් අතර කාලයක් බවද ඔහු කීය.

එම නිසා ප්‍රදේශයට පැමිණෙන ජංගම එන්නත් ගිලන් රථවලින් හෝ ළඟම ඇති එන්නත්කරණ මධ්‍යස්ථානයට ගොස් කොවිඩ් එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙස වෛද්‍ය රුවන් විජයමුණි ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එසේම මේ වනවිට කොළඹ නගර සීමාවේ ඇති ඇඟලුම් කර්මාන්ත සේවකයන්ට සහ වැඩබිම්වල සේවකයන්ට එන්නත් කර අවසන් බවද ඔහු කීය.

ජූලි මස 30 වැනිදාට පෙර කොළඹ නගර සීමාවේ 30 ට වැඩි සියලු දෙනාට එන්නත් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද වෛද්‍යවරයා පැවැසීහ. මේ වනවිට කොළඹ නගර සීමාව තුළ වයස 30 ට වැඩි පුද්ගලයන්ට සියයට 65 කටත්, අවරුදු 70 ට වැඩි පුද්ගලයන්ට සියයට 80 කටත්, වතු ජනතාව සියයට 70 කටත් එන්නත් කර අවසන් කොට තිබේ.

එසේම දෙමටගොඩ ප්‍රදේශයේ 18 ට වැඩි සියලු දෙනාටද කොවිඩ් එන්නත ලබාදී ඇත.

තවද ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් කොළඹ නගර සීමාවේ 88,000 කට ඉදිරි සතියේ දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවැසීය.

(Aruna)