පිට පිට තරග වට තුනේදී වැටෙන්නම පහර දෙයි
ජපානයේ පැවැත්වීමට නියමිත 21 වැනි ජ්‍යෙෂ්ඨ පිරිමි ආසියානු වොලිබෝල් ශූරතාව උදෙසා මධ්‍යම ආසියානු කලාපයෙන් සහභාගීවීමට නියමිත සුදුස්සන් තේරීමේ ශ්‍රී ලංකාව හා උස්බෙකිස්ථානය අතර කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව තරග වට 3-0ක විශිෂ්ට ජයක් හිමිකර ගනියි. ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් 12 සිට 19 දක්වා ජපානයේ පැවැත්වෙන ජ්‍යෙෂ්ඨ පිරිමි ආසියානු වොලිබෝල් ශූරතාවට ශ්‍රී ලංකාව පහසුවෙන්ම සුදුසුකම් ලැබීය.
උස්බෙකිස්තාන ක්‍රීඩකයෝ උසින් වැඩි වුවද ඔවුන්ගේ උසට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අභියෝග කළේ ශිල්පීය දක්ෂතාව හා උපායශීලී ක්‍රීඩා විලාශය හේතුවෙනි. ශ්‍රී ලංකා පිල ඉතා පරිණත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර බොහෝ විට තැනට සුදුසු නුවණ භාවිතා කිරීමේ වාසිය මෙම ජයග්‍රහණයට හේතු පාදක කර ගත්තේය.
තරගයේ පළමු වටය 25 - 23කින් හා දෙවැනි වටය 25-13 කින් ජයගත් ශ්‍රී ලංකාවට තෙවැනි වටය ආරම්භයේදී උස්බෙකිස්තාන ක්‍රීඩකයෝ ප්‍රබල තරගයක් ලබාදුන් අතර, එක් අවස්ථාවකදී උස්බකිස්තානය ලකුණු 13ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකාව ලකුණු 7කට සීමාවී තිබිණි. අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රමයෙන් ලකුණු 20 – 20 ලෙස සමකර ගත්තද, යළිත් උස්බෙකිස්තානය 22- 20ක් කර ගත්තේය. පිට පිට ලකුණු 3ක් ලබාගත් ශ්‍රී ලංකා පිල 25 – 22ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේය.
2017 වර්ෂයේ ආසියානු මහද්වීපික වොලිබෝල් සම්මේලනය ගත් තීරණයකට අනුව ආසියානු ජ්‍යෙෂ්ඨ තරගාවලියට සහභාගි විය හැකි කණ්ඩායම් ගණන 16 ක් වන අතර, පෙර වර්ෂයේ තරගාවලියේදී ප්‍රථම ස්ථාන 10 හිමි කර ගන්නා කණ්ඩායම්, සත්කාරක රට හා ආසියානු වොලිබෝල් සම්මේලනය තුළ ක්‍රියාත්මක වන වොලිබෝල් කලාප 5න් එක් කණ්ඩායම බැගින් මෙම අවසාන කණ්ඩායම 16 සංයුතියට ඇතුළත් වේ. කලාපයකින් එක් කණ්ඩායමක් වඩා අයදුම් කර තිබීමෙන් එම කලාපය තුළ තරඟ පවත්වා ජයග්‍රහකයන් ආසියානු වටයට සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකාව හා උස්බෙකිස්තාන තරගය පැවැත්වීමට සිදුවිය.
1975 වර්ෂයේදී ප්‍රථම වරට ආරම්භ කරන ලද ආසියානු වොලිබෝල් ශූරතාව වසර දෙකකට වරක් පැවැත්වෙන අතර, මේ විට ශ්‍රී ලංකාව 12 වතාවක් සහභාගී වී 2011 වර්ෂයේ දී ඉරානයේ පැවැති 16 වන ආසියානු තරගාවලියේ දී 08 වන ස්ථානයට පත් වී ප්‍රථම වරට සුපර්ලීග් වටයට සුදුසුකම් ලැබීය. 2019 වර්ෂයේ දී අවසන් වරට පැවැති ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකාවට හිමි වූයේ 14 වන ස්ථානයයි.
ජනිත සුරත්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලාකා පිලට තරූෂ චමත්, ඉසුරු මධුෂාන්, විදුර ප්‍රභාත්, මහේල ඉන්දීවර, ලසිදු මෙත්මල්, අයේෂ් දිල්ෂාන්, හරිත සිල්වා, එස්. එම්. සිල්වා, විනෝද් මධුසංඛ, නිලංක සංජය, කසුන් චතුරංග, මනෝජ් සුරංග හා ඒ. ඩබ්ලිව්. ලක්මාල් අයත් වූහ.
ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු චන්න ජයසේකර, සහය පුහුණුකරුවන් ලෙස නිෂාන් ඉන්දික, මංගල කුමාර හා කළමනාකරු ලෙස මේජර් ජෙනරාල් මහේෂ් අබේරත්න මහත්වරු එක්ව සිටියහ.
(Dinamina)