Sunday, August 10, 2025
Follow Us
ග්‍රාන්ට් ෆ්ලවර්ගේ අඩුව පුරවන්න ධම්මිකව කැඳවයි

කොවිඩ් වයිරසය ආසාදනය වී නිරෝධායනයේ පසුවන ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් ඉන් මිදෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තාවකාලික පිතිකරණ පුහුණුකරු වශයෙන් ධම්මික සුදර්ශනව පත්කොට තිබේ.


ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු වන ධම්මික අදාළ සංචිතයේ ජෛව ආරක්ෂණ බුබුළ යටතේ කටයුතු කරමින් සිටියදී ජාතික කණ්ඩායමේ ජෛව ආරක්ෂණ බුබුළ වෙත පුහුණුවීම් සඳහා කැඳවා ඇත.

ඒ අනුව ඔහු ඊයේ (13 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පුහුණුවීම් ආරම්භ කළේය. ජාතික කණ්ඩායමට ඔහුගේ සේවය දින දෙකක් හෝ තුනකට පමණක් සීමාවනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හිටපු ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු වන ධම්මික යටතේ වනිදු හසරංග, ධනංජය ද සිල්වා, ධනංජය ලක්ෂාන්, චරිත් අසලංක සහ කමිදු මෙන්ඩිස් යන ක්‍රීඩකයන් පුහුණුව ලබා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා පෙරේදා (12 වැනිදා) දඟ පන්දු යැවීමේ පුහුණුකරුවකු වන පියල් විජේතුංග සමගින් සිය පුහුණුවීම් ආරම්භ කළේය.
පිතිකරණ පුහුණුකරු සහ දත්ත විස්ලේශක ජී.ටී. නිරෝෂන්ට කොවිඩ් වයිරසය අසාදනය වීමෙන් සෙසු පුහුණුකරුවන් නිරෝධායනයට යොමු කිරීමත් සමගින් ඔවුන්ට කණ්ඩායමෙන් ඈත්ව සිටීමට සිදු විය.

(Aruna)