Sunday, August 10, 2025
Follow Us
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සීරුවෙන් - නිරෝධායනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ නිර්දේශ අකුරටම !

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිර්දේශ කර ඇති කාණ්ඩ 03 ට අයත් නොවන කිසිදු පුද්ගලයෙකු නිරෝධායනයට යොමු කිරීම සඳහා පොලීසියට හෝ වෙනත් කිසිදු ආයතනයකට උපදෙස් ලබාදීමෙන් වැළකී සිටින්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සිය සාමාජිකයන් වෙත දැනුම් දී තිබෙනවා. පසුගිය දිනවලදී උද්ඝෝෂණවල නිරත වූ පුද්ගලයන් පිරිසක් නිරෝධානයට යොමු කිරීමේ සිදුවීම් හා ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඇති වූ තත්වය සලකා බලා මෙම පියවර ගත් බවයි එම සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා පවසන්නේ.

කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සහ බත්තරමුල්ල පොල්දූව වටරවුම අසල උද්ඝෝෂණවල නිරත වූ පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැරිණි. කෙසේ නමුත් එවුන් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබීමට පොලීසිය කටයුතු කළ අතර, එසේ රඳවා තබ ගැනීම බලහත්කාරී ක්‍රියාවක් බවත්, නීතිවිරෝධී බවත් පවසමින් වෘත්තීය සමිති, දේශපාලන සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක් රජයට චෝදනා කළේය.

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ උද්ඝෝෂණයේ නිරත වූ පිරිස නිරෝධායනයට යොමු කිරීම සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පොලීසිය නිර්දේශ ලබා දී නොමැති බව පෙන්වා දෙන උපුල් රෝහණ මහතා පවසන්නේ පොල්දූව වටරවුමේ උද්ඝෝෂණය කළ පිරිස නිරෝධායනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ ලබාගෙන ඇති බවයි.

මෙම සිදුවීම් දෙකේදී මතු වූ නෛතික හා සදාචාරාත්මක ගැටලු හේතුවෙන් දැනට ක්‍රියාත්මක නිරෝධායන ආඥා පනත හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ තදින් සලකා බලමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිදුවන බවයි උපුල් රෝහණ මහතා පවසන්නේ. කෙසේ නමුත් නිරෝධායන නීති උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවක නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමර්ග ගැනීමේ හැකියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සතු බව ඔහු වැඩිදුරටත් පවසනවා.

(LNW)