Wednesday, August 06, 2025
Follow Us
ඩෙල්ටා නිසා ඉදිරි සති දෙක ලංකාවට තීරණාත්මකයි

ඩෙල්ටා කොවිඩ් වෛරසය ආසාදිතයින් ගණනාවක් හමුවීමත් සමඟ ඉදිරි සති දෙක ලංකාවට තීරණාත්මක වන බව ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් අනතුරු අඟවයි.

 

ශ්‍රී ලංකාව තුළ තවමත් කොවිඩ් එන්නත ලැබී ඇත්තේ 20%කට පමණක් බවත් එවැනි පසුබිමක ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර ගියහොත් තත්ත්වය වඩාත් දරුණු විය හැකි බව මහාචාර්ය මලික් පීරිස් මහත සඳහන් කරයි.

කොවිඩ් වැළඳී මිය යන අය අතුරින් 75%ක් පමණ වයස අවුරුදු 60 ඉක්ම වූ අය බවත් දැඩි සත්කාර ඒකක කරා වැඩි වශයෙන් පැමිණෙන්නේ එම වයස් කාණ්ඩවල පුද්ගලයන් බැවින් මෙවන් පසුබිමක ශ්‍රී ලංකාව පළමුවෙන් ම කළ යුත්තේ වයස අවුරුදු 60 ඉක්ම වූ සියලු දෙනාට ම එන්නත ලබා දීම යැයි මහාචාර්යවරයා පෙන්වා දෙයි.

 

කලින් පැවති සංචරණ සීමා ඉවත් කර ඇති බව අප මතක තබා ගත යුතුව ඇතැයි ද එම සීමා ඉවත් කළාට හොඳ තත්ත්වයක් නොපවතින බැවින් ඉදිරි සති කිහිපයේ යළි අවදානමක් ඇති විය හැකි නිසා අපි හොඳ අවදානයෙන් පසුවිය යුතු බව ඔහු සඳහන් කරයි.

“ඩෙල්ටා ප්ලස් කියන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ තවත් වෙනස් වීමක්” යැයි ද එය ඩෙල්ටා ප්‍රභේදයට වඩා තවත් දරුණු වේ යැයි කියා සිතිය හැකි නමුත් එමගින් ශ්‍රී ලංකාවට බලපෑමක් සිදුවෙයි ද යන කරුණු මේ මොහොතේ කිව නොහැකියැයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)