හෙද සේවාවට ලබාදෙන උසස්වීම් හා අනෙකුත් සේවා තත්ත්වයන් සමාන්තර සේවාවන් වන අතුරු වෛද්‍ය සේවා සහ පරිපූරක වෛද්‍ය සේවාවටද ලබාදෙන ලෙස සඳහන් කරමින් අද (05දා) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇත.
දෙදින වැඩ වර්ජනයකින් පසු තමන්ට හිමි උසස්වීම් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසු ලබා ගැනීමට හෙද වෘත්තීය සමිති සමත් වූහ.
ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අද (05දා) පස්වරුවේ පැවැත්වෙන කැබිනට් රැස්වීමට යොමු කිරීමට සෞඛ්‍ය අමත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සූදානම් වෙයි.
එහිදී හෙද හෙදියන්ගේ සේවා කාලය වසර පහක් සම්පූර්ණ වූ විට දෙවැනි ශ්‍රේණියටද, වසර දොළහක් සම්පූර්ණ වූ විට පළමු ශ්‍රේණියටද ඇතුළත් කිරීමට යෝජනා කර තිබේ.
යෝජනා ප්‍රතික්ෂේප වුවහොත් ලබන සිකුරාදා රට පුරා විරෝධතා
මෙම යෝජනා අද (05දා) දින කැබිනට් මණ්ඩලයේදී ප්‍රතික්ෂේප වුවහොත් ලබන සිකුරාදා රට පුරා විරෝධතා පැවැත්වීමටද හෙද වෘත්තීය සමිති තීරණය කර ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවැසුවේය.
කෙසේ වෙතත් මෙම උසස්වීම් ඇතුළු කරුණු 12ක් තමන්ටද හිමිවිය යුතු බව සඳහන් කරමින් පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවලට අයත් වෘත්තීන් 13ක සාමාජිකයන් අද (05දා) සිට වර්ජනයේ නිරත වෙති.
උසස්වීම් වැනි පොදු ගැටලු පිළිබඳ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී සියලු වෘත්තීන්ට සමානව සැලකිය යුතු බව අවධාරණය කරමින් පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවට අයත් වෘත්තීයවේදීන් පසුගිය සෙනසුරාදා (03දා) සිට ඊයේ (04දා) පස්වරුව වනතෙක් සංකේත වැඩ වර්ජනයක නිරත වූහ.
අත්තනෝමතික ලෙස ඉවත් කළ වසර 12න් පළමු ශ්‍රේණියට උසස්වීම් නැවත ලබාදීම, වැටුප් චක්‍රලේඛ හරහා සූක්ෂම ලෙස අහිමි කළ මාණ්ඩලික සේවා තත්ත්වය යළි ලබාදීම අතිකාල වැටුපෙන් 1/80ක් ලෙස සංශෝධනය සහ ඇමතුම් හා නිදර්ශත දීමනා යාවත්කාලීන කිරීම, වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ ‘රනුග්ගේ කමිටු වැටුප්’ නිර්දේශ ක්‍රියාත්මක කිරීම, රුපියල් 3000 වන DAT දීමනාව, රුපියල් 10000 සිට රුපියල් 15000 දක්වා ශ්‍රේණියට අනුව යාවත්කාලීන කිරීම ඇතුළු ගැටලු සහ ඉල්ලීම් ගණනාවක් සඳහා කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් බලධාරීන් ලබානොදීමත්, මෙම ගැටලු සඳහා විසඳුම් ලබාදීම ප්‍රමාදවීමත් මෙම වැඩ වර්ජනයට හේතු වී ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ඊ.සී.ජී. යන්ත්‍ර ක්‍රියාකරුවන්, අක්ෂි තාක්ෂණවේදීන්, රජයේ කීට විද්‍යා නිලධාරීන්, දන්ත කාර්මිකයන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුළු වෘත්තීන් නවයක සෞඛ්‍ය සේවකයන් මෙම වර්ජනයට එක්වන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ පවසයි.
ජනාධිපතිවරයා විසින් අදාළ ගැටලු සාකච්ඡා කිරීමේදී දේශපාලනිකව හිතවත් වෘත්තීය සමිති සමගි පමණක් සාකච්ඡා කිරීම හා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මැදිහත්වීම නිසා නව ගැටලු ඇතිවීම වළක්වාගත නොහැකි බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කරයි. කොළඹ ඊයේ (04දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදීන්, විකිරණ විද්‍යාඥයන්, වෘත්තීය චිකිත්සකවරු ඇතුළු වෘත්තිකයන් මෙම වර්ජනයට එක්ව සිටිති. කෙසේ වෙතත් රිජ්වේ ආර්යා ළමා රෝහල, අපේක්ෂා රෝහල හා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල අඛණ්ඩව සේවා සැපයීමටද පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර ඇත.
හෙද සංගම් මෙන්ම අදාළ බලධාරීන් මූලික පියවර අනුගමනය නොකර ඉල්ලීම් සෘජු ලෙස කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම නිසා ගැටලු මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පවසයි. එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු කියා සිටියේ මෙම ගැටලුව විසඳීම සඳහා අවිධිමත් ලෙස කටයුතු කළහොත් සුදුසු හා තීරණාත්මක මැදිහත්වීම් සිදුකරන බවද ඔහු අවධාරණය කර සිටියි.
අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක්
මේ අතර සෞඛ්‍ය සේවාවේ තවත් වෘත්තිකයන් 12කට බලපාන ගැටලු සම්බන්ධයෙන් අද (05දා) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. සෞඛ්‍ය කනිෂ්ඨ සහායක, උපස්ථායිකා, විදුලි සෝපාන ක්‍රියාකරු, අරක්කැමි, රියැදුරන්, රසායනාගාර සහකයන්ද ඊට එක්වන බව ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ ලේකම් රෝයි ද මැල් ප්‍රකාශ කරයි. ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ප්‍රකාශ කරන්නේ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලවලට බලපාන ගැටලු මුල්කර ගනිමින් හෙට (06දා) හා අනිද්දා (07දා) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවයි.
ගිලන් රථ රියැදුරන්ද තමන්ට මුහුණදී ඇති ගැටලුවලට සෞඛ්‍ය අමාත්‍යංශය විසදුම් ලබානොදීම සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සූදානම් වෙයි. වාර්ෂික නිල ඇඳුම් දීමනාව රුපියල් 15000ක් ලබා නොදීම, වැටුප් විෂමතා නිවැරදි නොකිරීම, කොවිඩ් අනතුරු දීමනා ලබානොදීම ඇතුළු ඉල්ලීම් 12ක් මුල්කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව රජයේ සෞඛ්‍ය ගිලන් රථ හා ප්‍රවාහන රියැදුරු සංගමයේ සභාපති ඩබ්ලිව්.ඩී. විජේසිංහ පවසයි. දිවයින පුරා රජයේ හා පළාත් සභා රෝහල්වල සේවයේ නියුතු ගිලන් රථ රියැදුරන් 8500ක් පමණ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වීමට නියමිත බවද ඔහු කියා සිටියේය.
(Aruna)