සංචරණ සීමා ක්‍රියාත්මක වීම හේතුවෙන් දෛනික කොවිඩ් මරණ අඩුවීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ වර්තමානයේ හඳුනා ගැනෙන කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් නිගමනයකට එලඹීමට තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවය.
එසේම මේ අවස්ථාවේදී රටේ එන්නත්කරණ කටයුතු ඉතාමත් වේගයෙන් කළ යුතුව ඇති බවත් පෙන්වා දෙයි.
විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය,
“ඩෙල්ටා ප්‍රභේදය කොළඹ ඇතුළු තවත් බාහිර ප්‍රදේශ කිහිපයකිනුත් එක්ක තවත් රෝගීන් 14ක් හඳුනාගෙන තිබෙනවා. මේ අවස්ථාවේදී අපි යම් සාමාන්‍ය තත්ත්වයක් දකින්නේ සති 3කට පෙර රට ලොක්ඩවුන් කරලා රෝගය පාලනයට කටයුතු කරපු නිසා. ඒ නිසා මරණවල අනුපාතය අඩුවීමක් තියෙනවා. දැන් බෝවන රෝගයේ ප්‍රතිඵල දකින් අපිට තවත් මාසයක් විතර යනවා. ඒ කාලය වෙනකොට අපිට පාලනයක් යොදන්න හැකියාවක් නැතිවෙයි. හැබැයි අපේ නොසැලකිල්ල නිසා මේ රෝගය ඉතාමත්ම වේගයෙන් ලංකාව පුරාම පැතිරෙනවා කියලා කියන්න පුළුවන්.”
මේ අතර කොළඹ මහනගර සභාව, අංගොඩ මානසික විද්‍යායතනය, කරාපිටිය ශික්ෂණ රෝහල සහ මාතර පෞද්ගලික රෝහලක් වෙතින් ලබාදී තිබූ සාම්පල්වලින් ඩෙල්ටා ප්‍රභේදයේ නව ආසාදිතයින් හමු වී තිබෙන බව වාර්තා වී තිබිණ.
ඒ අනුව සාම්පල ලැබුණු අයගේ පදිංචි ස්ථාන සහ අනන්‍යතාව පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය මේවන විටත් සොයා බලමින් ඇත.
(Aruna)