Tuesday, August 05, 2025
Follow Us
ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් කවුදැයි වෙනම සෙවීම ප්‍රායෝගික නෑ, හැමෝම පරෙස්සම් වෙන්න - සෞ. මා.

මේ වනවිට ප්‍රබල ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය රට තුළට ඇතුළු වී ඇතැයි නිශ්චිතව දන්නා නමුත් එය වැළඳුනේ කාටද, ආසාදිතයින් සිටින්නේ කවර ප්‍රදේශවලද යනාදිය වෙනම සෙවීම ප්‍රායෝගික නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

"ඩෙල්ටා ප්‍රභේදය හැමතැනම පැතිරිලා තියෙන්නෙ කියන්න මම හිතන්නෙ නෑ එහෙම සාක්ෂි තියෙනවායි කියලා. නමුත් පැතිරිලා තියෙන්න ඉඩ තියෙනවා කියන එකට නම් මම එකඟ වෙනවා"

"දැනට ස්ථිරවම තහවුරු කරලා තියෙන්නෙ පස්දෙනායි. ඒ සංඛ්‍යාව ඊට පස්සෙ වෙනස් වෙලා නෑ. නමුත් අපි දන්නවා මේ වෙනකොට ඒ ප්‍රභේදය රටේ තියෙනවායි කියලා. ඒ නිසා ගතහැකි සියලුම පාලන ක්‍රියාමාර්ග උපරිමයෙන් කරගෙන යනවා. අපි සියලුම ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නවා. මේකට නැවත කොතනද ප්‍රභේදය තියෙන්නෙ, කවුද ඒ ප්‍රභේදය ආසාදිත අය කියලා හොයන එක ප්‍රායෝගික නෑ. අපි සියලු දෙනාම එකතුවෙලා මේක පැතිරීම වළක්වන්න අවශ්‍ය කටයුතු කිරීමයි වැදගත් වෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (02) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)