කොවිඩ් වසංගතය හේතුවෙන් පෞද්ගලික බස් සේවකයන් විසිනව දහසකට අධික පිරිසක් ජීවනෝපාය මාර්ගයක් නොමැතිව අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටින බව පෞද්ගලික බස් සංගම් නියෝජිතයෝ ප්‍රකාශ කරති.
පසුගිය මැයි 21 වනදා සිට මේ දක්වා කිසිදු අන්තර් පළාත් මගී ප්‍රවාහන බස් රථයක් ධාවනය නොකළ බවත් බස් රථ 3200 ක් අතරින් මේ වන විට ධාවනය කෙරෙන්නේ බස් රථ 100 ක පමණ ප්‍රමාණයක් බවත් අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර ‘අරුණ’ට ඊයේ (01 වැනිදා) පැවැසීය
මෙම බස් රථවල සේවය කළ රියැදුරු කොන්දොස්තරවරුන් හත්දහසකට වැඩි පිරිසක් කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව දැඩි ආර්ථික අපහසුතාවට ලක්ව සිටින බවද ඔහු කීවේය.
එමෙන්ම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ දහඅට දහසක පමණ ප්‍රමාණයක් අතරින් ධාවනය කෙරෙන්නේ බස් රථ 7300 ක් පමණක් බවත් මගීන් නොමැතිවීමද බස් ධාවනය සිමා වීමට හේතු වී ඇති බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් ‘අරුණ’ කළ විමසුමකදී සඳහන් කළාය.
ඒ අනුව පළාත් පෞද්ගලික බස් රථ 11 000ක පමණ සේවක පිරිසට ජීවනෝපායන් අහිමිව තිබෙන බවද හෙතෙම කීවේය.
පසුගිය වසරේ ද කොවිඩ් තත්ත්වය හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තයට බාධා එල්ල වූ බවත්, එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.
මෙලෙස ආර්ථික වශයෙන් අපහසුතාවට ලක්ව සිටින බස් රථ සේවකයන් වෙනුවෙන් සහන සලසන්නැයි ආණ්ඩුවෙන් හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කළ ද කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ඔහු සඳහන් කළේය.
පෞද්ගලික බස් සංගම්වලින් සේවකයන්ට සහන සලසන ලෙසට කිසිදු ඉල්ලීමක් මේ දක්වා තමන්ට ඉදිරිපත් කර නැතැයි, මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ප්‍රවාහන ඇමැති ගාමිණි ලොකුගේ පැවසීය. කෙසේ වෙතත් ඔවුන්ට සහනයක් වශයෙන් තාවකාලික බස් ගාස්තු සංශෝධනයක් සිදුකර තිබෙන බවත් ඇමැතිවරයා කීවේය.
(Aruna)