Sunday, August 03, 2025
Follow Us
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් රැගෙන ආ ප්ලාසටික් තොගයෙන් සියයට 60 ක් අතුරුදන්

මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහලුම්වල ප්ලාස්ටික් ටොන් 1,034 ක් පැවති බවත්, ඒ අතරින් මෙරට වෙරළ තීරයට ගසාගෙන පැමිණ ඇත්තේ සියයට 40 ක පමණ ප්‍රමාණයක් බවත් පරිසර අමාත්‍ය මිහින්ද අමරවීර පවසනවා.

ඉතිරි සියයට 60 ක පමණ ප්ලාස්ටික් තොගයට සිදු වු දේ මෙතෙක් වාර්තා වී නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඇතැම්විට එම ප්ලාස්ටික් ගිණිගෙන විනාශවීමට හෝ වෙනත් ප්‍රදේශවලට පාවී යන්නට ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා.

අදාල ප්ලාස්ටික් තොගයෙන් තවත් කොටසක් මුහුදු ජීවීන් ආහාරයට ගෙන එම ජීවීන්ගේ සිරුරු තුළ ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

පසුගිය කාලසීමාවේදී මියගිය මුහුදු ජීවීන්ගේ සිරුරු රැසක් මෙරට වෙරළ තීරයට ගොඩගසා තිබූ බවත්, එය එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ අතුරු ප්‍රතිපලයක් විය හැකි බවත් අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළා.

අමාත්‍යවරයා එම අදහස් පළ කළේ පරිසර අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදීයී.

(Neth)